පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-06-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී ධාතු විභංග සූත්‍රය සහ චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

“පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ධාතු මාත්‍රයක්. ඒ වගේම සය වැදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. ඒ වගේම දහඅට වැදෑරුම් මනස හැසිරීම් මාත්‍රයක්. ඒ වගේම අධිෂ්ඨාන සතරක්. යම් අධිෂ්ඨානයක් තුළ ඉන්න කෙනෙකුට තෘෂ්ණාසහගත හැඟීම් ඇතිවෙන්නේ නෑ. තෘෂ්ණාසහගත හැඟීම් නොපවත්වන මුනිවරයාට තමයි ශාන්ත වූ තැනැත්තා කියලා කියන්නේ. ප්‍රඥාව තුළ ප්‍රමාද වෙන්නේ නෑ. සත්‍යය ආරක්ෂා කරනවා. ත්‍යාගය පුරුදු කරනවා. ඒ භික්ෂුව ශාන්තිය පිණිසම හික්මෙනවා.” යන ප්‍රකාශය විස්තර වශයෙන් විග්‍රහ කරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පුක්කුසාති නමැති (භාග්‍යවතුන් වහන්සේ උදෙසා ගිහි ජීවිතය අත්හැර පැවිදි වූ ප්‍රාදේශීය රජ කෙනෙක්) පින්වතා හට වදාළ දෙසුම පිළිබඳ මෙම පළමුවෙනි ධර්ම දේශනාවෙන් විස්තර වේ.

“භවත් ගෞතමයන් වහන්ස, මිනිසත් බවට පැමිණි මනුෂ්‍යයන් තුළ යම් යම් ළාමක ස්වභාවයන්ද, උතුම් ස්වභාවයන්ද දකින්නට ලැබෙනවා. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? භවත් ගෞතමයන් වහන්ස, අල්ප ආයුෂ ඇති මනුෂ්‍යයන් දකින්නට ලැබෙනවා. දිගාසිරි විඳින උදවියත් දකින්නට ලැබෙනවා. බොහෝ ආබාධ ඇති උදවියත් දකින්නට ලැබෙනවා. අල්ප ආබාධ ඇති උදවියත් දකින්නට ලැබෙනවා. විරූපී අයත් දකින්නට ලැබෙනවා. ඉතාමත් රූප සෝභා ඇති අයත් දකින්නට ලැබෙනවා. ස්වල්ප ආනුභාව ඇති අය දකින්නට ලැබෙනවා. මහේශාක්‍ය උදවියත් දකින්නට ලැබෙනවා. අල්පභෝගී අයත් දකින්නට ලැබෙනවා. බොහෝ සැප සම්පත් විඳින අයත් දකින්නට ලැබෙනවා. නීච කුලයේ උපන් අයත් දකින්නට ලැබෙනවා. උසස් කුලීනයන් දකින්නට ලැබෙනවා. ප්‍රඥා රහිත උදවියත් දකින්නට ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත උදවියත් දකින්නට ලැබෙනවා. භවත් ගෞතමයන් වහන්ස, මිනිසත් බවට පැමිණි මනුෂ්‍යයන් තුළ යම් යම් ළාමක ස්වභාවයන්ද, උතුම් ස්වභාවයන්ද දකින්නට ලැබෙනවා. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?” යනුවෙන් සුභ මාණවකයා විසින් අසන ලද පැනයට භාග්‍යවතුන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු මෙම දෙවන දෙසුමෙන් විස්තර වේ.