පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-03-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ගණක මොග්ගල්ලාන සූත්‍රය සහ මහා කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ඉතින් මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා කියනවා “භවත් ගෞතමයන් වහන්ස, මේ වගේ අපේ සෑම ශිල්පයක ම අනුපිළිවෙළින් කිරීමක්, අනුපිළිවෙළින් හික්මීමක්, අනුපිළිවෙළේ ප්‍රතිපදාවක් තියෙනවා. (ඒ කාලේ මිනිස්සු හරි බුද්ධිමත් නේද? දැන් බලන්නකො මේ උගතා කල්පනා කරපු රටාව) භවත් ගෞතමයන් වහන්ස, තමුන්නාන්සේගේ සෑසනෙත් ඔය විදිහේ අනුපිළිවෙළින් හික්මීමක්, අනුපිළිවෙළින් කිරීමක්, අනුපිළිවෙළින් ප්‍රතිපදාවක් පනවන්ට පුළුවන්ද?” කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා “බ්‍රාහ්මණය, මං මේ දේශනා කරපු ධර්ම විනයේත් අනුපිළිවෙළේ හික්මීමක් තියෙනවා. අනුපිළිවෙළේ ක්‍රියාවක් තියෙනවා. අනුපිළිවෙළේ ප්‍රතිපදාවක් තියෙනවා. මට ඒක බොහෝම අගේට පෙන්නා දෙන්ට පුළුවනි” කිව්වා.

ඊට පස්සේ උන්වහන්සේ වදාළා “බ්‍රාහ්මණය, අශ්වයන්ව හික්මවන්ට දක්ෂ, අශ්වයන් පුහුණු කරන කෙනෙක් ඉන්නවා. (භද්‍රං අස්සාජානීයං ලභිත්වා) ඒ කෙනාට හම්බවෙනවා උසස්කුලේ සොඳුරු ආජානීය අශ්ව පැටියෙක්.” බාල කසඩ අශ්වයෙකුව හොඳට හික්මන්න බෑ. ඒ නිසයි මං ඔබට මුලින් ම කිව්වේ අරටුව සහිත ගහක් වගේ වෙන්න කියලා. එහෙම වුනොත් ඔබ උසස් කුලේ අශ්ව පැටියෙක්. පතුරු සහිත කෙහෙල් ගහක් වගේ වුණොත් වල් අස්පයා. හැදෙන්නේ නෑ. ඉතින් ඒ අශ්වයන් පුහුණු කරන කෙනා ඉස්සෙල්ලාම කරන්නේ කටකලියාව (මුව වළල්ල) දානවා. කටකලියාව කියන්නේ හොම්බ වටේට දාන රවුම් පටියට. දැම්මාම පටන් ගැනීමේදී ඌට ඒක අමාරුයි. හිරකළා වගේ.

ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට කියා දෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලැබූ භික්ෂුවක් ව අනුපිළිවෙළින් හික්මවන විදිහ. (ඒවමේව ඛෝ බ්‍රාහ්මණ තථාගතෝ පුරිසදම්මං ලභිත්වා පඨමං ඒවං විනේති) “ඔන්න ඔය විදිහට ම බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේත් දමනය කිරීමට සුදුසු පුරුෂයෙක් හම්බ වුණාට පස්සේ පළමුවෙන් ම ඔහුව හික්මවන්නේ මේ විදිහටයි……