පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-04-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

සැදැහැවත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පළමුවෙන් ම අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගත්තේ. ඊට පස්සේ උන්වහන්සේ අන් අයටත් කියා දුන්නා තම තමන්ගේ ජීවිත තුළ තියෙන අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව උපදවා ගන්න ආකාරය ගැන. උන්වහන්සේ අවිද්‍යාවට පාවිචිච් කළා තවත් නමක් අන්ධකාරය කියලා. කරුවල. චතුරංග සමන්නාගත අඳුර කියලා අඳුරක් තියෙනවා. ඒ කියන්නේ සිව් කරුණකින් යුක්ත අන්ධකාරයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ඉර බැස ගිහිල්ලා. දෙවෙනි කාරණය හඳ පායන්නේ නැති අමාවක දවසක්. තුන්වෙනි කාරණය වලාකුළුවලිනුත් ආකාසේ වැහිලා. සිව්වැනි කරුණ තමයි ඝන වනාන්තරේ. මේ කරුණු සතරින් යුක්ත අඳුරට කියනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. මේ වගේ ඝන අන්ධකාරයක මනුස්සයෙක් හිටියොත්, එයාගේ අතේ මොකුත් එළියකුත් නැත්නම් වටපිටාවේ තියෙන කිසී දෙයක් එයාට පේන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවිද්‍යාවත් ඔය වගේ කියලා.

ඒ අවිද්‍යා අන්ධකාරය තුළ තමයි මේ ඉපදි ඉපදී මැරි මැරී යන සංසාර ගමන අපට උරුම වෙලා තියෙන්නේ. ඒ වගේ කරුවලක ඉන්න එක්කෙනෙක් විශාල මාන්නෙකින් හිටියොත් ‘හා…. මට පුළුවන් මේක තනියම කොරගන්ට…. මට ගුරුවරු ඕනෙත් නෑ…. වැඩිහිටියො ඕනෙත් නෑ…. මං තනියම කරගන්නවා…’ කියලා ඒක අන්ධකාරෙට ම ගැලපිලා ගිය තමන්ගේ දෝෂයක්. එයාට කවදාවත් ආලෝකයක සේයාවක්වත් ළං කරගන්ට ලැබෙන්නේ නෑ.