3.1. සිහි නුවණින් හැසිරීම

දැන් මේ වන විට ඔබ ආනාපානසති භාවනාව පිළිබඳ යම්කිසි දැනුමක් ලබාගෙන තියෙනවා. මේ දැනුම ලබාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට මා හිතන්නේ මේ භාවනාව ඔබ ප‍්‍රගුණ කරනවා නම් ඔබේ හදවතින් නිරායාසයෙන්ම යම්කිසි ගෞරවයක් බුදුරජාණන් වහන්සේ ගැන ඔබට දැන් ඇතිවෙන්න පුළුවන්. ඒක තමයි ඔබට මේ ධර්මය දියුණු කරන්නට උපකාර වෙන්නේ.
දැන් ඔබ අලුතින් ඉගෙන ගන්නවා තවත් භාවනාවක්. මේ භාවනාවට කියන්නේ සතිසම්පජඤ්ඤය කියල. සම්පජානකාරී හෝති කියල වචනයක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වාදී වදාළා. සම්පජානකාරී හෝති කියල කියන්නේ හොඳ සිහි නුවණින් යුක්තව හොඳ සිහි කල්පනාවෙන් යුක්තව වාසය කිරීම.

අගේ ඇති සිහි නුවණ….

මොකටද සිහි නුවණින් යුක්තව වාසය කරන්නෙ? අකුසල ධර්මයන් එන්න නොදී කුසලයේ සිත පිහිටුවා ගැනීමටයි. අකුසලය කියලා අපි සාමාන්‍යයෙන් මේකෙදි තේරුම් ගන්නේ පංච නීවරණ පිළිබඳවයි. (සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුගේ ස්වභාවය ගත්තොත් එයා නරක කෙනෙක් නෙවෙයි. බොහෝ විට හොඳ කෙනෙක්.) ඉතින් මේ කෙනා මානසිකව භාවනාව දියුණු කිරීමේදී, මේවා අඳුනගෙන තිබෙන්නට ඕනෙ, භාවනාවට තියෙන බාධක කරුණු.

හඳුනාගන්න නීවරණ….

අපි ඉගෙන ගත්තා ඒකට පංච නීවරණ කියල වචනයක්. පංච නීවරණ කියලා කිව්වෙ. (කාමච්ඡන්ද) රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ආසා කරලා සිත ඇදිලා යන එකට. (ව්‍යාපාද) ගැටෙන අරමුණුවලට හිත ගැටි ගැටී පවතින එක. (ථීනමිද්ධ) කම්මැලිකම, අලසකම, නිදිමත, කරන්න බෑ කියල මනසින් පසුබාන ගතිය. (උද්දච්ච කුක්කුච්ච) පසුතැවීම හා හිත විසිරීම (විචිකිච්ඡා) මේ වැඩපිළිවෙල ගැන තමන්ට විශ්වාසයක් නැතිවීම. එතකොට මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න හිතෙන්නෙ නෑ.

සිහිය උපදවා ගන්න…

මෙන්න මේවා හැම තිස්සේම අපේ සාමාන්‍ය ජීවිතය තුළ බල පවත්වනවා. නමුත් මේ භාවනාව දියුණු කරන්න කැමති කෙනා, සිහිය දියුණු කරන්න කැමති කෙනා හොඳ නුවණින් ඉන්නට ඕනෙ. එ්කට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ, ඉදිරියට යන කොට, ආපුස එන කොට, සිහිනුවණින් යුක්තව නීවරණ ඇති නොවෙන ආකාරයට කරන්න ඕනෙ. වටපිට බලද්දි හොඳ සිහිකල්පනාවෙන් ඉන්නවා. වටපිට බැලීම හේතු කරගෙන පංච නීවරණයන් හිතට ඇතුල් වෙන්න නොදී, කාමච්ඡුන්දයට හිත යන්න නොදී, තරහවට හිත යන්න නොදී, පසුතැවිල්ලකට, සැකයකට හිත යන්න නොදී හොඳට සිත රැකගෙන තමයි එයා වටපිට බලන්නේ. ඒකට කියන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියල.

බුදුරජාණන් වහන්සේ වදාළා මේ අත පය හසුරුවන කොට හොඳ සිහියෙන් ඉන්නවා. එයා අත පය හැසිරවීම තුළ සිහියෙන් අත පය හකුලනවා. දිග හරිනවා. මේ ක‍්‍රියාවලිය තුළත් මේ නීවරණ ධර්මයන් එන්නේ නැතිවෙන්න කොහොමද කියල හොඳ සිහියෙන් ඉන්නවා.

යමක් කරන්නේ නම් සිහියෙන් ම යි….

ඊළඟට වදාළා ඇඳුම් පැළඳුම් අඳින කොට, පළඳින කොට, (ඒකට ධර්මයේ කියෙන්නේ සංඝාටිපත්ත චීවර ධාරණේ කියල) ඒ කිව්වෙ මේ සිවුරු ආදිය දැරීමේදී ඒක අර්ථය දැනගන්න ඕනෙ. ඒක තමයි සිහියෙන් සිටීම කියන්නේ. දැන් ඇඳුමක් අඳින කොට ඒකේ අර්ථය තමයි විළි වසා ගැනීම. මැසි මදුරුවන්ගෙන් වන පීඩා වලින් වැළකීම. ශීත උෂ්ණ දෙකෙන් වැලකීම, මේ වගේ මේ ශරීරයේ ස්වාභාවික රැකවරණයට රුකුල් දෙන දෙයක් මේ ඇඳුමෙන් සිදුවෙනවා. මේක තමයි ඇඳුමේ ආකල්පය. අන්න ඒකට සිහිය පිහිටුවා ගන්න ඕනෙ. ඇඳුම අඳින වෙලාවට.

කෑමට බීමට ඔබේ සිහිය….

ඊළඟ එක තමයි කන බොන වෙලාව. ආහාර පාන ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට විස්තරයක් අපට පෙන්වා දීල තිබෙනවා. ඒකට අපි කියනවා ප‍්‍රත්‍යවෙක්ෂාව කියල. ප‍්‍රත්‍යවෙක්ෂාවේ යෙදෙනවා කියලා කියන්නේ යළි යළිත් යම්කිසි කාරණයක් පිළිබඳව සිහිකිරීම. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ධර්මය ප‍්‍රගුණ කරන කෙනා කෑම පස්සේ දුවන්නේ නෑ. එයා කෑම දාසයෙක් නෙවෙයි. එයා ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස පහසුවක් හැටියට විතරක් ආහාරය පාවිච්චි කරන කෙනෙක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ලස්සනට තෝරලා දෙනවා මේක ජවය ඇති කරගන්න නෙවෙයි, ශක්තිය ඇතිකරගන්න නෙවෙයි, ඇඟේ අඩුතැන් පුරවන්න නෙවෙයි. ඇඟ සෝභාසම්පන්න කරගන්න නෙවෙයි. මේ ශරීරයට බඩගිනි වේදනා පීඩා ඇතිවෙනවා. මේ පීඩා නැති කරගන්නයි ආයෙමත් පීඩාවක් ඇතිවෙන්නේ නැතිව සුවසේ බණ භාවනාව පවත්වා ගන්නයි. ඊළඟට මේ ජීවිත යාත‍්‍රාව පවත්වා ගෙන යන්නයි මේ ආහාර පාන ගන්නේ කියලා සිහිකරන්න කියනවා.

විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මෙය පෙන්වා වදාළේ මේ හිත පවත්වන්න, ශාන්ත කරගන්න වුවමනා කෙනෙකුට අදාළ එකක්.

ශරීර කෘත්‍යයේදී පවා ඔබේ සිහිය….

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වැසිකිළි කැසිකිලි කරද්දී පවා සිහියෙන් ඉන්නවා කියල. එතකොට අපට පේනවා ජීවිතය කියන්නෙ ඒ ඒ ඉරියව්වවලට අදාළ එකක්. වැසිකිළි කැසිකිළි කරද්දී, පවා සිහියෙන් ඉන්න එකේ තේරුම තමයි එතනදිත් අපේ මේ හිතට නොමග යන්න ඉඩක් තිබීම නිසයි සිහියෙන් ඉන්න කිව්වේ.

නිදන වෙලාවට හෝ නොනිදන විට…..

බුදුරජාණන් වහන්සේ වදාළා ඇවිදින කොට, හිටගෙන ඉන්න කොට, ඉඳගෙන ඉන්න කොට ඇහැරගෙන ඉන්න වෙලාවට, එතනදි කියනවා නිදි මරමින් සිටින වෙලාවට කියලා (ජාගරිතේ) නොනිදා සිටින වෙලාවට හොඳ සිහියෙන් ඉන්න කියන්නේ. නොනිදා සිටින වෙලාවට හොඳ සිහියෙන් ඉන්න කියනවා. මේ පංච නීවරණයන් හිතට ඇතුල් වෙන්න ඉඩ නොදී ඉන්න කියලයි. මේ විදිහට හොඳට සිිහිය පිහිටුවා ගැනීම තුළ ඔබට හොඳ රැකවරණයක් ඔබේ ජීවිතය තුළදී ලැබෙනවා.

බුදු පියාණන් ඇසුරේ වසමු….

සිහිය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් දේශනා කරල තියෙනවා. ඒක තියෙන්නේ සකුණග්ගී කියන සූත‍්‍රයේ. ඒකේ කියනවා එක්තරා ගිජු ලිහිණියෙක් ආකාසයේ පියාසර කර කර ඉන්දැද්දී චූටි කැට කිරිල්ලියෙකුත් ආකාසේ පියාසර කරනවා. මේ ගිජු ලිහිණියා මොකද කළේ අර කැට කිරිල්ලිව අල්ල ගත්තා. අල්ල ගත්තම කැට කිරිල්ලී කෑ ගහන්න පටන් ගත්තා.

”අයියෝ මං මේ ආකාසේ පියාඹන්න ගිහිල්ලයි මේක සිද්ධ වුණේ. මට පිය උරුමයෙන් ආපු තැනක් තියෙනවා. මම එතන හිටියා නම් උඹට මාව කවදාවත් අල්ලගන්න බෑ.” කියල කෑ ගහන්න පටන් ගත්තා. එතකොට ගිජු ලිහිණියා කල්පනා කළා මේ කැට කිරිල්ලි මොකක්ද මේ කියන කතාවේ තේරුම. මොකක්ද උඹට පිය උරුමයෙන් ආපු තැන?

අපේ පිය උරුමය….

ඉතින් අර කැට කිරිල්ලී කිව්වා මගේ පිය උරුමයෙන් ආපු තැන තමයි මේ කුඹුරේ පස් පෙරලන කොට පස් පිඩැල්ල යට කොටසේ ඇති චූටි ගුහාව වගේ තැන. එතන තමයි මට පිය උරුමයෙන් ආපු තැන.

ඉතින් මේක අර ගිජු ලිහිණියට මහ සිනහ උපදවන කථාවක්. ගිජුලිහිණියා මේක ගණන් ගත්තේ නැහැ. ගිජු ලිහිණියා කැට කිරිල්ලිට කිව්වා ”එම්බා කැට කිරිල්ල, මං නුඹව අත්හරිනවා. දැන් නුඹ ඔච්චර අභිමානවත්ව කියනවා නම් මේක පිය උරුමයෙන් ආපු තැනක් ය කියල, නුඹ ගිහිල්ල ඔය පස් පිඩැල්ල යට හැංගියන් පුළුවන් නම්. මම නුඹව අල්ල ගන්නවා” කියල.

මේ කැට කිරිල්ලි මොකද කළේ කෙළින්ම කුඹුරට ගිහිල්ලා පස් පිඩැල්ල උඩ හිටගෙන කෑ ගහල ගිජු ලිහිණියාට කිව්වා, ”ගිජු ලිහිණිය, දැන් වර” කියල.

ගිජු ලිහිණියා මොකද කළේ, ගානට තටු දෙක හදාගෙන හිමීට පාත්වෙලා වේගයෙන් ඊතලයක් වගේ පල්ලෙහාට ආවා. කැට කිරිල්ලි මොකද කළේ. පස්කණ්ඩිය යටට රිංගුවා. රිංගන කොට ගිජුලිහිණියාගේ පපුව වැදුණා.

ඒක බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. ඒකෙන් උන්වහන්සේ පෙන්වා වදාළේ සිහිය නැති ජීවිතේ බාහිර අරමුණුවලට හසුවෙනවා. විනාශ වෙනවා. සිහිය තිබීම තමයි පිය උරුමයෙන් ලැබෙන දේ. බුදුරජාණන් වහන්සේ වදාළා ”පින්වත් මහණෙනි, ඔබට තථාගතයන් වහන්සේ තමයි පියාණන්. තථාගතයන් වහන්සේගේ උරුමය තමයි සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගැනීම.”

ස්වාක්ඛාත ධර්මයේ නැත වඳ බැසීම්….

දැන් බලන්න අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යුතු සියල්ල දේශනා කරලයි තියෙන්නේ. අනික් එක මේ ධර්මය අනුගමනය නොකිරීම නිසා ප‍්‍රතිඵල නැතිවා මිසක් මෙතන වඳ බැහැපු ධර්මයක් නැහැ. වඳ බහිනවා කියන්නේ ප‍්‍රතිඵල නැති. ප‍්‍රතිඵල නැති දහමක් නෑ. අපි මේ අනුගමනය කරන ධර්මය හොඳට ප‍්‍රතිඵල ලැබෙන ධර්මයක්. අනුගමනය කිරීමෙන් ප‍්‍රතිඵල ලැබෙන එකක්.

නිතර සිහියෙන්ම ඉන්න නම්….

ඉතින් ඒ නිසා සතිසම්පජඤ්ඤයේදී අර විදිහටම මනා කොට සිහිය පිහිටුවා ගෙන ඉන්න කොට එයා වටපිට බලද්දී, අතපය හසුරුවද්දී, යද්දී එද්දී, වස්ත‍්‍ර අදිද්දී, ආහාර ගනිද්දී මේ හැම තිස්සේම එයා නීවරණ ධර්මයන් හිතට එන්නේ නැති විදිහට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න නම් මේ කෙනාට යම්කිසි සිහිය පවත්වන්න පුළුවන් දෙයක් අවශ්‍යයි. අන්න ඒක තමයි එතැන තියෙන අනිත්‍යය හොඳට සිහිකරන්න පුළුවන් ඒ ඉරියව් පැවැත්වීමේදී.

අමුතු භාවනා ….. අමුතු සිහිය පිහිටුවීම්….

සමහරු හිතාගෙන ඉන්නවා ”මේකෙදි වැඩක් පලක් කරන කොට ඒ වැඩපල කරන එක ගැන හිතන්න කියල. එහෙම එකක් බුද්ධ දේශනාවල නැහැ. අපි ගත්තොත් කෙනෙක් දැන් මැල්ලුමක් කපනවා. ඒ කෙනෙකුට හිතුණොත් එහෙම ”ආ…. මැල්ලුමක්…. මැල්ලුමක්…. මැල්ලුමක්… කපනවා…. කපනවා….. කපනවා….” මේක මෙයාගේ ජීවිතේ ප‍්‍රඥාව වැඩෙන්න අදාල කාරණයක් නෙවෙයි. අපි හිතමු කෙනෙක් ”හාල් ගරනවා….. ගරනවා….. ගරනවා…..” කියලා හිතාගෙන හිටියා එයාගේ ජීවිතේට ප‍්‍රඥාව වැඩෙන්න හෝ සිහිය පිහිටුවන්න ඒක කාරණයක් වෙන්නේ නැහැ.

නුවණමයි පිටුවහල….

එහෙම නෙවෙයි කියන්නේ. එයා හොඳට අනිත්‍යය මනසිකාරයේ යෙදිලා හොඳ සිහියෙන් යුක්තව නීවරණ ධර්මයන් හිතට ඇතුලු වෙන්න නොදී හිටියා නම් අන්න එයා තුළ නුවණක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ නුවණයි, සිහියයි, කෙලෙස් තවන වීර්යයයි. හැම දෙයක්ම තියෙනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි