සත්පුරුෂයන්ට අවවාද කරන කෙනාව ප්‍රියයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, වාසනාව කියන එක හැමෝටම නෑ. බුදුරජාණන් වහන්සේව දැක දැකත් සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ළඟ පැවිදි වෙලත්, ඒ අමා නිවන් මග වඩිනා සඟපිරිස දැක දැකත්, ඒ සියල්ල අත්හැර වෙනම කණ්ඩායම් වෙච්ච භික්ෂූන් එකලත් හිටියා. ඔවුන් අයිති වෙන්නේ වාසනාවට පයින් ගහපු පිරිසටයි. ඔවුන් පිළිබඳව දුක්බර කථාව තමයි දැන් ඔබට දැනගන්න ලැබෙන්නේ.

කීටාගිරි කියලා ලස්සන පළාතක් තිබුණා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ළඟ පැවිදි වූ අස්සජී – පුනබ්බසුක නම් දෙනමක් පන්සීයක සඟ පිරිසක් සමඟ එහි වාසය කළා. සැදැහැවතුන් ඉතාමත් ඕනෑකමින් දන්පැන් පිළියෙල කොට පූජා කළේ ගෞතම ශාසනයේ උතුම් සඟරුවන නාමයෙන්මයි.

ඉතින් මේ උදවිය ඇති පදමට වළඳා බුදු සසුනට අකැප දේ කරමින් වාසය කළා. සැදැහැවත් පවුල් නොමඟ යවමින් ඔවුන්ගේ ශ්‍රද්ධාව නැති කළා. නාටක රඟ දැක්කුවා. සිංදු කිව්වා. ගැහුණු පිරිමි ළමයින්ට නැටුම් පන්ති දැම්මා. නොයෙක් ගණුදෙණු කළා. ධර්මය කුමක්දැයි නිවැරදිව අසා සිටි සැදැහැවතුන් කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුණා. මෙතන හිටියේ පන්සීයක් නිසා මේ ඇත්තන්ගේ බලයත් වැඩියි. මොනවාහරි කිව්වොත් සැදැහැවතුන්ට බනිනවා.

“නුඹලා දන්නවාද අපි කවුරුද කියා…? අපේ ගොදුරු ගමේ තමයි නුඹලා වාසය කරන්නේ… නුඹලා වැඩිය කතා කළොත් දානෙකට, පිරිතකට, පාංශුකූලෙකට අපි නෑ ඕං…. දැන් දැනගනිල්ලා… අපි නැති කලක නුඹලාට මක්ක වේවිද කියා…”

අනේ ඉතින් සැදැහැවතුන් ඉතාමත්ම අසරණව කල් ගෙව්වා. සිවුරු දරා හිටියට ඒ උදවිය හරිම දරුණුයි. කරුණාවක්, මෛත්‍රියක්, පපුවේ තෙතමනයක් තිබ්බේම නෑ. ඇත්ත කියනවාට විරුද්ධයි. ධර්මයටත් බනිනවා.

“හා…! නුඹලා මගඵල ලබන්න වගෙයි! යසයි..! ගිහි ගෙවල්වල ඉන්න නුඹලාට ගිය කල…! අපටවත් නැති සසර භයක් නෙව නුඹලාට තියෙන්නේ… හනේ…! හනේ…! නුඹලාට ගිය කලක්…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අන්තිමේදි බොහෝ පිරිසක් මේ අස්සජි පුනබ්බසුක භික්ෂූන්ගේ බහට හසුවුණා. ධර්මයේ හැසිරීම අත්හැරියා. ධර්මය සිහි කිරීමත් අත්හැරියා. භික්ෂූන් වහන්සේලාව යහළුවන් වගේ ඇසුරු කළා. නෑදෑයින් වගේ ඇසුරු කළා. විහිළු තහළු කළා. ටික කලක් යද්දී ගිහි පිරිසත් බොහෝ සෙයින් නොමග ගියා.

දවසක් එක් රහතන් වහන්සේ නමක් කසී රට වස් වැසුවා. වස් අවසානයේ භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නට සැවැත් නුවර බලා පිටත් වුණා. ඒ යන ගමනේදී කීටාගිරියටත් වැඩම කළා. ඉතාම ශාන්තව, බිමට යොමුවූ ඇස් ඇතිව, සංසුන් ඉඳුරන් ඇතිව, මනා ඉරියව්වෙන් යුතුව පිණ්ඩපාතයේ වැඩියා.

භික්ෂූන් සමඟ කෙළි සෙල්ලමෙන් වාසය කළ ගම්වාසීන්ට මෙය හරි අමුත්තක් වුණා. මිනිස්සු අපහාස කරන්න ගත්තා.

“හප්පේ…! මුන්දෑ කවුද? බිමට ඔරෝගෙන යනවා නෙව. මොලේ අවුල්වෙලා වත්ද? ඇහි බැමයි, මූණයි හැකිලිලා ගිහින් නෙව. මෙබඳු ඇත්තන්ට පිඬු පුදන්නෝ කවරහුද? හනේ… හැබෑට! මේ උන්නාන්සේලාට අපේ අස්සජි පුනබ්බසුකයන් වහන්සේලාව ඇසුරු කරන්න ලැබිලා නැහැ නෙව. ඒකට අපේ උදවිය කොච්චර අගේද? අපට මිහිරි බස් කියනවා… අපේ සැප දුක් අහනවා… හිනාවෙලා කතා බස් කරනවා… ‘එන්න එන්න මැතිතුමනි, ඔබ දැකුමෙන් අප පින් කළ බව දැනිණ…’ කියනවා. අපේ දරුවන්ගේ මඟුල්තුලාවලට සහභාගී වෙනවා. කොටහළු නැකත් කියා දෙනවා. මඟුල් නැකත් කියා දෙනවා. උන්වහන්සේලාගෙන් අපට කොයිතරම් පිහිටක්ද? ඒකට මේ උදවිය. ඔහේ එනවා… ඔහේ යනවා… අනේ… අනිච්චං…”

අස්සජී පුනබ්බසුක භික්ෂූන් විසින් දූෂණය කරන ලද බෞද්ධ ජනතාවට සැබෑ භික්ෂුව හඳුනාගන්න බැරිව ගියා. ඔවුන් ඒ රහතන් වහන්සේට පිණ්ඩපාතේ බෙදුවේ නෑ. නියම බුදු සසුන හඳුනන සැදැහැවත් උපාසකයෙක් මේ භික්ෂුව දැක්කා. මේ භික්ෂුවට අහන්න ලැබෙන නපුරු වචනත් ඇහුණා. ඒ උපාසකතුමා මේ භික්ෂූන් වහන්සේට වන්දනා කොට ඇහුවා.

“පින්වත් ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතය ලැබුණාද?”

“උපාසකතුමනි, මිනිස්සු බනිනවා… පිණ්ඩපාතය දෙන්නේ නෑ.”

 

“ස්වාමීනී, අපේ ගෙට වඩින්න. මං දන් පැන් පුදන්නම්.”

ඉතින් ඒ උපාසකතුමා ඒ ස්වාමීන් වහන්සේව නිවසට වඩම්මවා ගත්තා. දන් පැන් පූජා කරගත්තා.

“ස්වාමීනී, ඔබවහන්සේ වඩින්නේ කොහෙද?”

“පින්වත, මං අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට සැවැත් නුවරට වඩින ගමන්.”

“අනේ, ස්වාමීනී, එහෙම නම් මාගේ වචනයෙන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරන සේක්වා! මේ කීටාගිරියේ පන්සීයක් සඟුන් පිරිවරා ඉන්න අස්සජී පුනබ්බසුක භික්ෂූන් ගැන පවසන සේක්වා!

ඉස්සර ස්වාමීනී, මිනිස්සු හරි ශ්‍රද්ධාවෙන් හිටියේ. දැන් ඒ උදවිය ධර්මය අත්හැරලා. භික්ෂූන් කෙරෙහි කිසි පැහැදීමක් නෑ. දන් දීපු උදවිය දැන් දන් දෙන්නෙ නෑ. ප්‍රියශීලී භික්ෂූන් වහන්සේලා මේ පළාතේ වඩින්නේ නෑ. චතුරාර්ය සත්‍යය ධර්මය අහපු කලක් මතක නෑ. දැන් බණට ඇහෙන්නේ ඇනුම් බැනුම් විතරයි.

අනේ… ස්වාමීනී, ඒ විපතින් අපව මුදවාගන්න කියලා භාග්‍යවතුන් වහන්සේට පවසනු මැනැව. අපට මේ ගෞතම ශාසනයේ පිළිවෙත් පුරන සඟරුවන ලබාදෙන්න කියලා පවසනු මැනැව.”

ඉතින් ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේව බැහැදැක මේ සියලු විස්තර දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස්කොට මෙහි වරද පෙන්වා දී මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, ඒ භික්ෂූන්ගේ ඔය අනාචාර කටයුතු නිසා නොපැහැදුණු අය තවත් අපහදිනවා. පැහැදුණු අයගේ පැහැදීමත් නැතුව යනවා. ඒ නිසා සාරිපුත්ත, මොග්ගල්ලානයෙනි, ඒ අස්සජි පුනබ්බසුක කල්ලිය කීටාගිරියෙන් ඉවත් කළ යුතුයි. ඔවුන් ඔබ ළඟ පැවිදි වූ නිසා ඔවුන් ඉවත් කිරීම ඔබේ යුතුකමයි.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අස්සජි පුනබ්බසුකයන් අප ළඟ පැවිදි වූ බව හැබෑව. නමුත් උන්දැලාට පන්සීයක් පිරිවර ඉන්නවා. දරුණුයි. සැඩයි. පරුෂයි.”

“එහෙම නම් සාරිපුත්තයෙනි, ඔබත් හුදෙකලාවේ යන්න එපා! බොහෝ සඟපිරිස රැගෙන යන්න. ගිහින් ඔවුන්ට වරද පෙන්වා එතැනින් බැහැර කරන්න.”

ඊට පස්සේ සැරියුත්, මුගලන් රහතන් වහන්සේලා බොහෝ සඟ පිරිසක් සමඟ කීටාගිරියට වැඩියා. වැඩමකොට ඔවුන්ව කීටාගිරියෙන් ඉවත් කළා. පබ්බාජනීය කර්මය කළා. පබ්බාජනීය කර්මය කියලා කියන්නේ කරුණු සහිතව කරනු ලබන විනය කර්මයක්. සංඝයා විසින් ඒ භික්ෂූන්, පාපී භික්ෂූන් බවත්, ඔවුන් තවදුරටත් සිටීමෙන් ගිහි ජනයාට හානි වන බවත් සංඝයාට දැනුම් දීමයි. ඉන්පසු සංඝාඥාවක් මඟින් ඔවුන්ව එම ආවාසයෙන් නෙරපනවා.

ඉතින් ඉතාමත්ම අමාරුවෙන් අස්සජි, පුනබ්බසුක කල්ලිය කීටාගිරියෙන් ඉවත්කොට ශුද්ධ පවිත්‍ර කළා. නිර්මල ගති ඇති, ලාභ සත්කාරයේ නොඇලුණු සිත් ඇති, දායකයන්ට නොබැඳුණු සිත් ඇති, සිව්පසයට ආශා නොකරන, සිල්වත් සඟරුවනට කීටාගිරිය පැවරුවා. ඉන්පසු සැරියුත්, මුගලන් රහතන් වහන්සේලා සැවැත් නුවරට වැඩම කළා.

ඒ සිද්ධිය අරභයා භාග්‍යවතුන් වහන්සේ මෙම මධුර ගාථාව වදාළා.

ඕවදෙය්‍යනුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ

ලොවෙහි සැපත සදන කෙනා – නිරතුරු අවවාද කරයි
වරදින් වළකාලන්නට – නිසි අනුසාසනා කරයි
යහපත් මිනිසුන් හට නම් – ඔහුගෙ ඇසුර මනාපමයි
නමුත් දුෂ්ට ජනයා හට – ඔහු දැකුමත් අමනාපයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, කෙනෙකුට යහපත දියුණු කරගන්නට නම්, යහපත් අවවාද අවශ්‍යයි. අනුශාසනා අවශ්‍යයි. වරද පෙන්වා දී එයින් වළකාලීම අවශ්‍යයි. යම් උතුම් කෙනෙක් අවවාද කරද්දී, අනුශාසනා කරද්දී, වරදින් වළක්වද්දී සත්පුරුෂයන් ඉක්මනින්ම එහි වටිනාකම හඳුනාගන්නවා. තරහගන්නෙ නෑ. එයට කැමති වෙනවා. අවවාද කරන කෙනාටත් කැමති වෙනවා. ඇසුරට කැමති වෙනවා.
නමුත් දුෂ්ටයන් එහෙම නෑ. අවවාදයටත් විරුද්ධයි. අවවාද කරන කෙනාටත් විරුද්ධයි.

‘ආ… ඔහේ මොකද මට විතරක් අවවාද කරන්නේ? අනික ඔහේ මගේ කවුද? ඔහේගෙ වැඩක් බලාගත්තාම නරකද?’ කියලා, අවවාද කරන කෙනාව බැහැර කරනවා. සමහරු අවවාද කරන කෙනා ඉස්සරහ දොරෙන් ඇතුළු වෙද්දී, පස්ස දොරෙන් දුවනවා. එයාව දකින්නවත් කැමති නෑ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාලා එහෙම කරන්න එපා! යහපත පිණිස අවවාද කරන අයට කැමති වෙන්න. එම අවවාදවලටත් කැමති වෙන්න. නිදහස කියන නාමයෙන් හිතුවක්කාර වෙච්ච සත්තු වගේ හැදෙන්න හොඳ නෑ. සතෙක් වුණත් වටින්නේ හික්මුණු තරමටයි. එහෙම නැත්නම් ඒ සතාගෙවත් වටිනාකමක් නෑ. ඒ නිසා අවවාදයට හික්මෙන කෙනෙක් වෙන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ