“පින් බලය හරි පුදුමයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ මහා පුදුම දෙයක්. විස්මිත දෙයක්. පිනකට කරන්න පුළුවන් යහපත අප්‍රමාණයි. සසර පුරාවට සෙවණැල්ලක් මෙන් තමා පස්සෙන් එන්න මේ පිනට පුළුවන්. බොහෝ පින් කොට පින් බලයෙන්ම ශ්‍රේෂ්ඨ වුණු උතුම් සඟරුවනක් ගැනයි දැන් ඔබ දැනගන්නේ. උන්වහන්සේගේ නම මහා කප්පින. උන්වහන්සේ රජ කෙනෙක්. රජකම අත්හැර දාලයි බුදුසසුනෙහි පැවිදි වුණේ. උන්වහන්සේ සසරේ පැමිණි පින් පිරුණු මාවත ගැන මෙහෙම සඳහන් වෙනවා.

ඉතාමත් දුර ඈත අතීතයේ බරණැස නූල් කටින මිනිසුන් සිටින ගමක ප්‍රධානියා වෙලා කෙනෙක් හිටියා. ඒ දිනවල හිමාල වනයේ පසේ බුදුවරයන් වහන්සේලා දහස් නමක් වැඩසිටියා. වස් කාලෙන් පස්සේ උන්වහන්සේලා බරණැසට නුදුරු තැනක සේනාසනයක් කරවීම පිණිස බරණැස් රජ්ජුරුවන්ව මුණගැහෙන්න වැඩියා. වැඩියේ අට නමයි. නමුත් සාර්ථක වුණේ නෑ.

ඉන්පසු ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වෙන කොහේ හරි යන්න පිටත් වෙද්දී බරණැස නගරයට ගිහින් හිටිය අර ගම් ප්‍රධානියාගේ බිරිඳට දකින්න ලැබුණා. ඇයට හරි සතුටුයි. ඇය ගිහින් පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කළා.

“අනේ, අපගේ මේ ආර්යයන් වහන්සේලා අවේලාවේ කොහේ වඩින ගමන්ද?”

“පින්වත් නැගණිය, අපි හිමාල වනයේ වස් වැසුවා. දැන් මේ සුදුසු ප්‍රදේශයක සෙනසුනක වාසය කරන්න හිතාගෙන රජ්ජුරුවන් මුණගැහෙන්න පැමිණියා. නමුත් හරි ගියේ නෑ. අපි මේ වෙන කොහේ හරි යන්නයි සූදානම.”

“අනේ, ස්වාමීනී, එහෙම නම් ඔබවහන්සේලා හෙට දවසේ අපේ ගමට දානෙට වඩින්න.”

“පින්වත් නැගණිය, අපේ පිරිස හරිම විශාලයි.”

“අනේ, ස්වාමීනී, අට නමක්නේ ඉන්නේ…”

“නැහැ පින්වත් නැගණිය, අපේ පිරිස දහස් නමක් ඉන්නවා.”

“ස්වාමීනී, කොයිතරම් දෙයක්ද! අපේ ගමෙත් පේෂකාර පවුල් දාහක් ඉන්නවා. එක පවුලකට පුළුවනි එක නමකට දානෙ වේලක් දෙන්න. ඒ වගේම ඔබවහන්සේලාට වැඩඉන්න සෙනසුන් පහසුකමුත් හදන්නම්.”

උන්වහන්සේලා ඇරයුම පිළිගත්තා. ඇයට හරි සතුටුයි. ඇය ගමට දුවගෙන ගියා.

“පින්වත්නි, වරෙල්ලා…. අපි හරී වාසනාවන්තයි. පසේ බුදුරජාණන් වහන්සේලා දහස් නමක් හෙට අපේ ගමට වඩිනවා. උන්වහන්සේලාට වැඩඉන්න එක පවුලකින් එක කුටියකුයි, දානෙ වේලයි භාරගන්න. පින්වත්නි, පින් කරගනිල්ලා….”

ගම්මුන්ට හරි සතුටුයි. එක පවුලකින් එක කුටිය ගානේ පවුල් දාහම ඉදිරිපත් වෙලා කුටි දාහක් හැදුවා. දන් පැන් පූජා කරගත්තා. ඒ ගම්මු සියලු දෙනාම මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකයේ උපන්නා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පැමිණුනා. බරණැස ප්‍රධාන පවුලක අර පින්වන්තයින් උපන්නා. ඒ ගම් ප්‍රධානියා බරණැස ආයෙමත් ගම් ප්‍රධානියෙක් වුණා. අර බිරිඳ ඒ ගම් ප්‍රධානියාගේම බිරිඳ වුණා.

එක දවසක් මේ දෙදෙනා කාශ්‍යප බුදුරජුන්ගෙන් බණ ඇසීම පිණිස වෙහෙරට පිටත් වුණා. විහාරයට ඇතුළු වුණු විගස මහ වැස්සක් ඇද හැලුණා. ඉතින් මෙයාලට නොතෙමී ඉන්න තැනක් නැතිවුණා. වැස්සට හැම තැනම මඩ වෙලා කිලිටි වුණා. මෙය දැක ඒ ගම් ප්‍රධානියා මෙහෙම කිව්වා.

“අපි මේ ගැන ලැජ්ජා වෙන්න ඕන, අපේමයි වැරැද්ද.”

“ආර්ය පුත්‍රය, ඉතින් අපි මොකක්ද කරන්නේ?”

“අපි මුදල් වියදම් කොට පිරිවෙනක් හදමු. එතකොට ස්වාමීන් වහන්සේලාට නොතෙමී බණ අහන්න පුළුවන්. අපටත් නොතෙමී බණ අහන්න පුළුවන්.”

ඉතින් මේ ගම් ප්‍රධානියා සියල්ලන්ගෙන්ම මුදල් එකතු කොට ශාස්තෘන් වහන්සේටත්, දහසක් සංඝයාටත් වාසය කිරීම පිණිස මහා පිරිවෙනක් හැදුවා. විසි දහසක් භික්ෂූන් වහන්සේලාට සිවුරු පූජා කළා. දන් පැන් පූජා කළා.

එදා ගම් ප්‍රධානියාගේ බිරිඳ මෙහෙම කල්පනා කළා. ‘මමත් ආසයි, ශාස්තෘන් වහන්සේට අතිරේක වූ පූජාවක් කරන්න’ කියලා කටුකරඬු මලින් අලංකාර කොට මල් කලඹවල් දහසක් ශාස්තෘන් වහන්සේට පූජා කළා.

“ස්වාමීනී, මේවාට කියන්නේ අනෝජා මල් කියලයි. මං උපනූපන් තැන මේ අනෝජා මලේ පැහැය මට ලැබේවා! අනෝජා යන නමද මට ලැබේවා!”

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වතිය, ඔබේ පැතුම එසේම වේවා!”

ඉතින් මේ ඒ සියලු දෙනාම එයින් චුතව ආයෙමත් දෙව්ලොව උපන්නා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේදී ඔවුන් දෙව්ලොවින් චුත වුණා. කුක්කුටවතී නගරයේ රජකුලයේ උපන්නා. අර ගම් ප්‍රධානියා මහා කප්පින රජු බවට පත්වුණා. අර බිසව මධු රට සාගල නුවර රජකුලයේ අනෝජා කුමරිය ලෙස උපන්නා.

සසරේ කළ පින් බලයෙන් ඒ මහා කප්පින රජ්ජුරුවන්ගේ බිසව වෙන්නට අනෝජා කුමරියට පුළුවන් වුණා.

එක දවසක් මහා කප්පින රජු ඇමතියන් දහසක් පිරිවරාගෙන උයන් කෙළියට යද්දී වෙහෙසට පත්වෙච්ච වෙළඳ ගැල් පන්සීයක් නගරයට ඇතුළු වෙනවා දැක්කා. මේ උදවිය ගැන රජ්ජුරුවෝ විමසුවා.

“දේවයන් වහන්ස, මෙයින් යොදුන් එකසිය විස්සක් ඈත සැවැත නම් නගරයක් තියෙනවා. අපි එන්නේ එහෙ ඉඳලයි.”

“භවත, ඒ පළාතේ යම් විශේෂයක් තියෙනවාද?”

“දේවයන් වහන්ස, කිය යුතු විශේෂ දෙයක් නැතත් අපේ නගරයේ තමයි ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ.”

ඒ වචනය ඇසෙනවාත් සමඟම රජ්ජුරුවන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඇඟ කිලිපොලා ගියා.

“අනේ දරුවෙනි, ආයෙමත් කියන්න…. ආයෙමත් කියන්න…. මං ආසයි ඒ වචනය අහන්න.”

“දේවයන් වහන්ස, අපි ඉන්න නගරයේ තමයි ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ.”

“දරුවෙනි, මට කියූ මේ වචනයට මං කහවණු දහසක් නුඹලාට පූජා කරනවා.”

“දරුවෙනි, තව මොනවද කියන්න තියෙන්නේ?”

“දේවයන් වහන්ස, අපගේ නගරයේ තමයි ලොව තිබෙන උතුම් සත්‍යය වන චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය රැව් පිළිරැව් දෙන්නේ.”

“අනේ පින්වත් දරුවෙනි, මට කියූ මේ වචනයට මං තව කහවණු දහසක් නුඹලාට පූජා කරනවා.”

“පින්වත් දරුවනි, තව මොනවද විශේෂ තොරතුරු?”

“දේවයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය පහළ වෙලා ඉන්නෙත් අපේ නගරයේමයි.”

“අනේ පින්වත් දරුවෙනි, මට කියූ මේ වචනයට මං තව කහවණු දහසක් නුඹලාට පූජා කරනවා.”

ඊට පස්සේ රජ්ජුරුවෝ ඇමතිවරුන් දිහා බැලුවා.

“මාගේ ඇමති දරුවෙනි, දැන් අපි මොකක්ද කරන්නේ?”

“දේවයන් වහන්ස, ඔබවහන්සේ කුමක් කරන සේක්ද?”

“පින්වත් දරුවෙනි, අතිදුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් ලොව පහළ වූ සේක! ආර්ය පුද්ගල මහා සංඝරත්නයක් ලොව පහළ වූ සේක! මෙවැනි උතුම් දෙයක් ඇසූ මං ආයෙමත් මාළිගාවට යාවි කියලද හිතන්නේ? මං දැන් කෙලින්ම පිටත් වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නයි. මං උන්වහන්සේ ළඟට ගිහින් ඒ උතුම් බුදු සසුනේ පැවිදි වෙනවා.”

“අනේ දේවයන් වහන්ස, ඔබවහන්සේ පැවිදි වෙනවා නම් අපිට මේ ඇමති පදවි මොකටද? මීට වඩා අපිට දහස් ගුණයක් වටිනවා ඒ බුදු සසුනේ පැවිදි බව. අපිත් එනවා…”

එතකොට රජ්ජුරුවෝ රන් පත්ඉරුවක ලිපියක් ලිව්වා. අර වෙළඳුන්ට දුන්නා.

“පින්වත් දරුවෙනි, මෙය රැගෙන ගිහින් මාළිගයේ සිටින අනෝජා බිසවට දෙන්න. ඇය නුඹලාට කහවණු තුන් දහසක් දේවි. ඒ අනෝජා බිසවට මෙහෙමත් කියන්න. ‘පින්වත් බිසවුන් වහන්ස, රජතුමා රජකම අත්හැරියා…. ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න කියලා පිටත් වුණා… ඒ නිසා ඔබ රාජ්‍යය කරන්න’ කියලා.”

ඇමැතිවරුත් තම තමුන්ගේ බිරින්දෑවරුන්ට පණිවිඩ ලියලා පිටත් කළා. ඇමැතියන් දහසක් පිරිවරාගත් මහා කප්පින රජතුමා මහාරාජානුභාවයෙන් යුතුව සැවැත් නුවර බලා පිටත් වුණා.

අපගේ බුදුරජාණන් වහන්සේ මහා කප්පින රජතුමා ඇමැතියන් දහසක් සහිතව සැවැත් නුවර බලා පිටත් වුණු බව දිවැසින් දැක්කා. දැක චන්ද්‍රභාගා නම් ගංගා තීරයේ නුගරුක් මුලක් සෙවණේ විවේක සුවයෙන් වැඩසිටියා. උන්වහන්සේ වැඩසිටින පාරෙන් තමයි අර පිරිවර සහිත මහා කප්පින රජතුමාට යන්න තියෙන්නේ.

සේනා සහිත රජතුමා එක ගඟක් සමීපයට ආවා.

“දරුවෙනි, මේ ගඟ මොකක්ද?”

“දේවයන් වහන්ස, මෙයට කියන්නේ ‘අපරච්ඡා’ කියලයි. ඔය ගංගාව ගව්වක් ගැඹුරයි. ගව් දෙකක් පළලයි.”

“ගඟෙන් එතෙර වෙන්න නැවක් වත්, පහුරක් වත් නැද්ද?”

“නැහැ දේවයන් වහන්ස.”

එතකොට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“අපි මේ දෙවරක් හිතන්නේ නැතුව පිටත් වුණේ උතුම් තුනුරුවන් උදෙසාමයි. නැව්, පහුරු එනකම් බලාසිටියොත් ඒ අතරේ ජරා මරණ වලින් අපිව විනාශ වෙලා යාවි. ඒ නිසා තුනුරුවන්ගේ ආනුභාවයෙන් අපට මේ ජලය, ජලය නොවේවා! ඉතින් දරුවෙනි, කෑගසා කියපල්ලා…. ‘ඒකාන්තයෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක’ කියලා…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, හරිම පුදුමයි. හරිම ආශ්චර්යයි. විස්මයජනකයි. අද්භූතයි. ඉතින් ඒ මහා කප්පින රජ්ජුරුවෝ දහසක් පිරිවර සහිතව අශ්වයින් දහසක් ඇතුව බුදුගුණ සිහිකරමින් හඬ නගා බුදු ගුණ කියමින් ඒ අසුන් දහසම ගඟ දියට යොමු කළා. ඒ අශ්වයන් දහසම පොළොවේ යන පරිද්දෙන් ගඟෙහි වතුර නොගෑවී එතෙර වුණා.

එයින් එතෙර වුන මහා කප්පින රජු පිරිවර සහිතව නැගෙනහිර දෙසට පිටත් වුණා. ආයෙමත් ගඟක් හම්බවුණා.

“දරුවෙනි, මේ ගංගාවේ නම මොකක්ද?”

“දේවයන් වහන්ස, මේ ගංගාවට කියන්නේ ‘නීලවාහිනී’ කියලයි. මේ ගඟත් අර වගේම ගැඹුරුයි, පළලයි.”

ඉතින් රජ්ජුරුවෝ දහම් ගුණ සිහි කරමින් ‘භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම මුල, මැද, අග පිරිසිදු ලෙස දහම් දෙසූ සේක’ කියමින් පිරිස සමඟ කලින් විදිහටම ගඟෙන් එතෙර වුණා.

ඊළඟට පැමිණුනේ ‘චන්ද්‍රභාගා’ කියන ගඟ සමීපයටයි. ඒ ගඟෙනුත් එතෙර වුණා. එතෙර වී පිටත් වෙද්දී නුගරුක් සෙවණකින් ෂඞ් වර්ණ රශ්මියක් විහිදෙනවා දැක්කා. රජ්ජුරුවෝ හඬ නගා මෙහෙම කිව්වා,

“දරුවෙනි…. දරුවෙනි…. බලාපල්ලා… අර කුමක්ද බබලන්නේ? අර බබලන්නේ සඳත් නොවෙයි, හිරුත් නොවෙයි. දිව්‍ය මාර බ්‍රහ්ම ආදී කෙනෙකුත් නොවෙයි. නාග සුපර්ණාදී කෙනෙකුත් නොවෙයි. දරුවෙනි…. හොඳින් බලාපල්ලා…. අර නුග සෙවණේ කවුද වැඩඉන්නේ? අපි යම් ශාස්තෘ වහන්සේ නමක් උදෙසා පිටත් වුණාද, ගෞතම නම් වූ ඒ බුදුරජාණන් වහන්සේ නේද අර වැඩඉන්නේ?”

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ මොහොතේම රජතුමා අසු පිටින් බැස්සා. ඇමතිවරුත් අසුපිටින් බැස්සා. විහිදෙන බුදුරැස් දෙස බලමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වැඳ වැටුණා. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. සියලු දෙනාම සෝවාන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිස ඇමතුවා.

“පින්වත් මහණෙනි, මෙහි එන්න. මේ උතුම් නිවන් මගේ හැසිර සසරෙන් එතෙර වන්න.”

ඒ වචන බුදු මුවින් පිටවෙනවාත් සමඟ අර සියලු දෙනාගේ ගිහි වේශය අතුරුදහන් වුණා. ශාන්ත ඉරියව් ඇති භික්ෂූන් වහන්සේලා බවට පත්වුණා. පාත්‍ර සිවුරු ඉර්ධි බලයෙන් ලැබුණා. එයට කියන්නේ ‘ඒහි භික්ෂු’ පැවිදි උපසම්පදාව කියලයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබට මතකද අර වෙළෙන්දන් පන්සියය ගැන? එයාලා මාළිගය හොයාගෙන ගියා. අනෝජා දේවිය මුණ ගැසුණා. කරුණු පැහැදිලි කළා. දේවියත් බුදුරජාණන් වහන්සේ ගැන අසා අප්‍රමාණ ප්‍රීතියට පත්වුණා.

“පින්වත් දරුවනේ, ඉතින් අපගේ මහරජතුමා තෙරුවන් ගැන පැහැදිලා මොකද කළේ?”

“පින්වත් බිසවුන් වහන්ස, ඇමතිවරුත් සමඟ පිටත් වුණා. ඒ උතුම් බුදුසසුනේ පැවිදි වෙන්න ඕන කියලයි පිටත් වුණේ.”

අනෝජා දේවිය හරි නුවණැත්තියක්. ඇය දහසක් ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන් කැඳෙව්වා.

“පින්වත් සොහොයුරියනි, මාගේ ස්වාමී වූ මහරජ්ජුරුවන් වහන්සේත්, නුඹලාගේ ස්වාමිවරුන් වන දහසක් ඇමති මඬුල්ලත් ලෝකස්වාමී වූ ධර්මරාජ වූ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයේ අරහත්වය නම් වූ සදහම් කිරුළු පළඳින්න පිටත් වෙලා ගියා. ඉතින් සොහොයුරියනි, අපිත් ඒ සේනාව පිටත් වූ අශ්වයන්ගේ කුර පහර ගැටී ගිය මාවතේ පිටත්ව යමු.”

“පින්වත් බිසොවුනි, රජතුමා පිටත් වුණේ තුනුරුවන්ගේ ගුණ කිය කියයි. ඒ තුනුරුවන්ගේ ආනුභාවය නිසා අශ්වයන්ගේ කුර පොළොවේ වැදුණේ නෑ. අපිත් තුනුරුවන්ගේම ගුණ කිය කියා පිටත් වෙමු.”

ඉතින් අර ස්ත්‍රීන් පිරිවරාගත් අනෝජා බිසවත් බුදුරජාණන් වහන්සේව සොයාගෙන පිටත් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. මගඵල ලැබුවා. ඒ ධර්මය ශ්‍රවණය කළ මහා කප්පින තෙරුන් ප්‍රධාන දහසක් භික්ෂූන් අරහත්වයට පත්වුණා.

බුදුරජාණන් වහන්සේ අර අනෝජා බිසව ප්‍රධාන දහසක් කුලස්ත්‍රීන් සැවැත් නුවර භික්ෂුණී ආරාමයට පිටත් කළා. එහිදී ඔවුන්ද නිකෙලෙස් භික්ෂුණීන් බවට පත්වුණා.

සැවැත් නුවර ජේතවනාරාමයෙහි නිවන් සුව විඳිමින් වැඩසිටින මහා කප්පින තෙරුන් වහන්සේ සක්මන් කරද්දී “අහෝ සැපයකි! අහෝ සැපයකි!” කියා නිතර කියනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලාට මෙය තේරුම් ගත නොහැකි වුණා. ඔවුන් හිතුවේ කලින් රජකම ගැන සිතන බවයි. බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කළා.

“පින්වත් මහණෙනි, මහා කප්පිනයන් රාජ සැප සිහිකරමින් උදන් අනනවා නොවෙයි. ධර්මය සිහි කරමිනුයි ඒ අමා මහ නිවන සිහි කරමිනුයි ඔය උදන් අනන්නේ…”

එසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදළා.

ධම්මපීතී සුඛං සේති – විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ – සදා රමති පණ්ඩිතෝ

දහම් රස වළඳන කෙනා – කල් ගෙවයි නිති සුවසේ
පහන් සිතුවිලි ඇති කෙනා – වාසය කරයි රිසි සේ
සම්බුදුවරුන් වදහළ – අමා දම් රස දැනගෙන
ලොවෙහි නුවණැති කෙනා – ඇලෙයි ඒ දහමට සදා

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් අප ඉගෙන ගත්තු මේ කථාව හරි පුදුමයි නේද? මහා කප්පින තෙරුන් වහන්සේගේ ජීවිතය පිනෙන්ම සැකසුණු එකක්. අනෝජා දේවියගේ ජීවිතයත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එවැනි ආශ්චර්ය ගුණ ඇතිව ඉපදීමට මොනතරම් වාසනාව තියෙන්න ඕනද? ඔයාලත් පින් කළ යුත්තේ ධර්මාවබෝධය පතාගෙනමයි. ඒ පින විසින් ඔයාලට ධර්ම මාර්ගය විවෘත කොට දේවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ