“බුදු සසුනක අසිරිය”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇත්තෙන්ම ඒ බුද්ධ කාලය නම් හිතන්න බැරි තරම් අද්භූත චමත්කාරයකින් යුක්තයි. විස්මිත ප්‍රාතිහාර්යයන්ගෙන් යුක්තයි. අපට නම් තවමත් අදහාගන්න බැරි තරම් පුදුමයි. එතරම්ම වාසනාවන්ත මහා පින්වතුන් හිටිය යුගයක්.ඒ රහතන් වහන්සේලා ගේ ජීවිත හරිම ආශ්චර්ය යි.දැන් කියවන්නෙත් එබඳු කථාවක්.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ දෙව්රම් වෙහෙරේ. එදා ඈත ප්‍රදේශයක ඉඳලා භික්ෂූන් වහන්සේලා තිස් නමක් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට පැමිණියා. ඒ අවස්ථාවේ අනඳ මහ තෙරුන් වහන්සේ බුද්ධෝපස්ථානය සඳහා සූදානම්වයි සිටියේ. ශාස්තෘන් වහන්සේ උදෙසා වත් කරන වේලාවයි. ඒ භික්ෂූන් දුටු ආනන්දයන් වහන්සේ මෙහෙම හිතුවා.

‘ශාස්තෘන් වහන්සේ මේ ආයුෂ්මතුන් වහන්සේලා සමඟ පිළිසඳර කතාබහේ යෙදෙනවා. මේ කතාබහ ඉවර වෙනකම් ඉඳලා මං උපස්ථාන කරන්න ඕන’ කියලා හිතලා කුටියේ ඉදිරියේ වැඩසිටියා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් සමඟ ධර්ම කථාවක තමයි යෙදුණේ. ටික වෙලාවකින් නිහඬ බවක් තේරුණා. ආනන්දයන් වහන්සේ කුටිය බැලුවා. පෙනෙන්න කවුරුත් නෑ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස. දැන් මෙහි තිස් නමක් වැඩම කළා නේද? උන්වහන්සේලා කෝ?”

“ආනන්දය, ඒ භික්ෂූන් පිටත් වුණා නෙව.”

“ස්වාමීනී, මං මේ කුටිය ඉදිරියේ නෙව හිටියේ. මං දැක්කෙ නෑ. කොහෙන්ද වැඩියේ..?”

“ආනන්දය, ඒ සඟ පිරිස අහසිනුයි වැඩියේ.”

“ස්වාමීනී, උන්වහන්සේලා ඉර්ධිබල සම්පන්න රහතන් වහන්සේලාද?”

“ආනන්දය, ඒ තිස්නමක් වූ සඟ පිරිස දැන් මෙතනට පැමිණියා නෙව. මගේ ධර්ම කථාව අහලයි ඒ සියල්ලන්ම රහත් වුණේ. කළ යුතු දේ කොට අවසන් වෙලයි එසැණින්ම හංසයන් වගේ අහසට පැන නැඟලා ගියේ. ආනන්දය, එහෙම තමයි සතර ඉර්ධිපාද ධර්මයන් ඒ භික්ෂූන්ට හොඳට වැඩුණා. හංසයෝ වගේ අහසෙන් ගියා.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා රමණීය ලෙස මෙම ගාථාරත්නය වදාළා.

හංසාදිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියා
නිය්‍යන්ති ධීරා ලෝකම්හා  - ජිත්වා මාරං සවාහිනිං

හංසයෝ යති අහස් ගමනේ – පියාඹාගෙන නිදහසේ
ඉර්ධිමත් රහතුන් ද එලෙසින් – වඩිති අහසේ නිදහසේ
පරදවා සේනාව ඇති මරු – දහම් මග තුළ නුවණ මෝරා
කෙලෙස් නැති ඒ නැණවතුන් – මිදී යති මේ ලෝකයෙන්

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණගැසීම නිසා බොහෝ දෙනෙක් සසරෙන් එතෙර වුණා.රහතන් වහන්සේලා බවට පත් වුණා දැන් අපට එබඳු අවස්ථාවන් නැහැ. ධර්මය ඇහෙන්නෙත් කලාතුරකින්. නිවන් මග ගැන අසන්නට ලැබෙන්නෙත් කලාතුරකින්. එනිසා අපි ඉක්මනින්ම භාග්‍යවතුන් වහන්සේ ගැනත්, ඒ ධර්මය ගැනත්, ආර්ය සංඝරත්නය ගැනත් සිත පහදවා ගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

රහතන් වහන්සේලා

      මුල් පිටුවට