ජ්ජීන්ට අයත් විසාලා මහනුවර කියල නගරයක් තියෙනවා. එහි අම්බසක්ඛර කියල ලිච්ඡවී රජ කෙනෙක් හිටියා. ඔහු නගරයෙන් පිට හිටපු පෙරේතයෙක්ව දැක්කා. දැකලා විස්තර දැනගන්ට හිතාගෙන ඒ පෙරේතයාගෙන් මේ කරුණු ඇහුවා.

(රජතුමා) ‘‘මේ ප්‍රේතයාට නින්දක් නෑ. වාඩිවෙලා සිටීමක් නෑ. ඉදිරියට ඒමක් නෑ. ආපසු යාමක් නෑ. ආහාරපාන රස විඳීමක්, ඇඳුම් පාවිච්චියක් නෑ. මෙයාට උදව් කරන්න කෙනෙකුත් නෑ. මේ පෙරේතයාට ඉස්සර මනුස්ස ජීවිතයේදී නෑදෑයො හිටියා. ඇසු දුටු සුහද මිතුරන් හිටියා. දැන් ඒ කවුරුවත් දැක ගන්ටවත් නෑ. ඒ ජනයා විසින් මෙයාව අත්හැර දැමූ බවක් තමයි තියෙන්නෙ. ධනයෙන් පිරිහුණු කෙනෙකුට යාළු මිත‍්‍රයො නෑ. විනාශයට පත් වුණ බව දැනගත්තු ගමන් මිතුරන් එයාව අත්හරිනවා. සල්ලි තියෙන කෙනාව දැක්ක ගමන් යාළුවෝ පිරිවරා ගන්නවා. ධනසම්පත්වලින් දියුණු වුණ කෙනෙකුට ඕනෑතරම් යාළුවෝ ඉන්නවා. සියළු සම්පත්වලින් පිරිහිලා නිහීන ආත්මයක් ලැබුවට පස්සෙ දුකෙන් ඉන්ට තියෙන්නෙ. ලේ වැකුණ ශරීරයක් ඇතිව අත පය බිඳ ගෙනයි ඉන්නෙ. මෙයාගෙ ජීවිතය අද හෙටවත් විශ්වාස නෑ. තණ අග රැඳුන පිණි බිංදුවක් වගේ මේ ජීවිතයේ අවසානය රැඳිල තියෙන්නෙ. එම්බා යක්ෂය, මේ විදිහට ඉතා දරුණු දුකට පත්වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නෙ. එහෙම කෙනෙකුට ඇයි ඔබ ‘ජීවත් වෙන්න, ජීවත් වෙන්න’ කියල ‘ජීවිතයම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ’ කියල කියන්නෙ මොන කරුණක් මතද?”

(ප්‍රේතයා)‘‘පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඤාතියෙක්. මට පෙර ආත්මභාව සිහි කරන්ට පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇති වුණා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරයේ වැටෙන්න නම් එපා කියල. ලිච්ඡවී රජතුමනි, මේ පුද්ගලයා මෙතැනින් චුත වෙලා යන්නෙ අතිභයානක වූ සත්තුස්සද කියන නිරයටයි. එහේ පව් කරපු උදවියට මහා භයානක කටුක දැවිලි තැවිලි ඇති දුක් උපදිනවා. මේ පුද්ගලයා භයානක ඒකාන්ත දුක් ඇති කටුක දුක් සහිත වූ නිරයට වැටෙනවා. ඔහුට ඒ මහා නරකාදියට වඩා නොයෙක් ගුණයෙන් මේ හුළමයි උතුම්. මේ තැනැත්තා ඔය කාරණාව ගැන මං කියන දේ ඇසුවොත් දුක වැඩිකමට ප‍්‍රාණය අත් හරිනවා. මං ඒ නිසා මෙයා ළඟ කියන්නෙ නැත්තෙ මෙයාගෙ ජීවිතය නිරුද්ධ වෙන්ට එපා කියන අදහස නිසයි.”

(රජතුමා) ‘‘ මේ පුරුෂයා පිළිබඳව වූ කාරණාව මං දැන් තේරුම් ගත්තා. මං ඔබගෙන් වෙන කාරණේකුත් දැනගන්න සතුටුයි. ඒ ගැන අසන්නට අපට අවසර දෙන්න. අපි මේ ගැන අහනවා කියල කේන්ති ගන්ට එපා.”

(ප්‍රේතයා)‘‘ඇත්තෙන්ම එදා මගේ ප‍්‍රතිඥාවක් තිබුණා. පැහැදිලා නැති කෙනෙකුට කියන්නෙ නෑ කියල. දැන් මං අකැමති වුණත් ඔබ මාව ඇදහිය යුතු වචන ඇති කෙනෙක් විදිහට සලකනවා නෙව. කැමති දෙයක් අහන්න. පුළුවන් හැටියට විසඳන්නම්.”

(රජතුමා) ‘‘පින්වත් යක්ෂය, මං යම්කිසි දෙයක් ඇසින් දකිනවා නම් ඒ හැම දෙයක්ම මට විශ්වාස කරන්ට පුළුවනි. ඉදින් ඇස් දෙකෙන්ම දැකලත් ඒක මං අදහන්නෙ නැත්නම් එතකොට ඔබ එයට මට නිග‍්‍රහ කර්මය කරන්න.”

(ප්‍රේතයා)‘‘ඔබගේ ඔය ප‍්‍රතිඥාව මට සත්‍යයක්ම වේවා! දූෂිත වූ සිතකින් තොරව යමක් අවබෝධ කර ගැනීමේ අදහසින් ම මේ ධර්මය අහලා පැහැදීම ඇති කර ගන්න. ඔබතුමා විසින් අසපු දේවල් වෙන්ට පුළුවනි. නාසපු දේවල් වෙන්ට පුළුවනි. මං තේරුම් ගත් විදිහට හැමදෙයක්ම කියන්නම්.”

(රජතුමා) ‘‘සුදු අශ්වයන් යෙදූ අලංකාර යානයකින් මේ හුල තිබ්බ කෙනා ළඟට එන්නෙ. මේක අද්භූත යානයක්. දර්ශනීයයයි. මේ විපාකය මොන කර්මයකින් ලැබුණු එකක්ද?”

(ප්‍රේතයා)‘‘විශාලා මහනුවර නගරය මැද්දේ මඩ සහිත මාර්ගයක නරාවලක් තිබුණ. මං යහපත් අදහසින් සුදු වෙලා ගිය ගවයෙකුගේ හිස් කබලකින් ඒ නරා වළ වැහුවා. එතකොට ඒ හිස් කබලට පය තියල තමයි අපිත් අනික් උදවියත් එතැනින් ගමන් කළේ. මේක අද්භූත යානයක්. දර්ශනීයයි. මේ විපාකය ලැබුණේ අන්න ඒ කර්මයෙන් තමයි.”

(රජතුමා) ‘‘මහානුභාව ඇති යක්ෂය, ඔබේ සිරුරු පැහැයෙන් හැම දිසාවක්ම බබලනවා. ඔබේ ශරීරයෙන් හමන සුවඳ හැම දිසාවේම පැතිරෙනවා. ඔබ දිව්‍ය ඉර්ධියට පත්වෙලයි ඉන්නෙ. නමුත් ඔබේ ඇඟේ නූල් පොටක්වත් නෑ. මේ විපාකය ලැබුණේ මොන වගේ කර්මයකින්ද?”

(ප්‍රේතයා)‘‘මං ක්‍රෝධ කළේ නෑ. හැම තිස්සේම ගත කළේ පහන් සිතින්මයි. මිහිරි වචනවලින් මං මිනිසුන්ට කතා කළේ. හැම තිස්සේම මගේ දිව්‍ය වූ සිරුරෙන් පැහැය විහිදෙන්නේ ඒ කර්මයේ විපාක වශයෙන් තමයි. ධර්මයේ පිහිටි උදවිය ගේ යසසත් කීර්තියත් ගැන දැකලමයි මං එය පහන් සිතින් වර්ණනා කරන්නෙ. ඒ කර්මයේ විපාකය වශයෙන් ලැබුණෙ මෙයයි. මගේ ශරීරයෙන් දිව්‍ය සුවඳක් නිතරම හමනවා. මගේ යාළුවන් නහන තොටේ නනා හිටියා. එතකොට මං ඒ යාළුවන්ගේ වස්ත‍්‍ර ගොඩින් සඟවලා තිබ්බා. මං ඒක කළේ සෙල්ලමටයි. නපුරු අදහසකින් නොවෙයි. ඒ විපාකයෙන් තමයි මං නිරුවත් කෙනෙක් වුණේ. ඒ නිසා මගේ ජීවිතය දුකයි. යම්කිසි කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට ඔය විදිහේ කර්ම විපාකවලට මුහුණ දෙන්න සිදුවෙන බව සත්පුරුෂයන් කියලයි තියෙන්නෙ. එහෙම එකේ සෙල්ලමකට නොව නපුරු සිතින්ම යම් කෙනෙක් පවක් කරනවා නම් ඒකෙ විපාක මොන තරම් දරුණු වේවිද කියලත් සත්පුරුෂ උතුමන් කියලයි තියෙන්නෙ. යම්කිසි මිනිසෙක් දූෂිත වූ අදහස්වලින් යුක්තව කයින් වචනයෙන් අපිරිසිදු දේ කරනවා නම් ආයෙ සැකයක් නෑ. එයාට මරණින් මත්තෙ පරලොවදී නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. සුගතියේ උපත පතන අනෙක් උදවිය ඉන්නවා. එයාලා දන් දීමට ඇලෙනවා. අනික් අයට උදව් උපකාර කරමින් ජීවිතය ගත කරනවා. එයාලා කය බිඳී මැරුණට පස්සෙ නිසැකවම උපදින්නෙ සුගතියේ තමයි.”

(රජතුමා) ‘‘දැන් ඔබ පින්පව් ගැන මට කිව්වා නෙව. මං මේක විශ්වාස කරන්නෙ කොහොමද? පින්වල මේ විපාක තියෙනවා, පව්වල මේ විපාක තියෙනවා කියල. මං මොකක් දැකලාද ඕක විශ්වාස කරන්නෙ? අනික ඕක මට විශ්වාස කරවන්නෙ කවුද?”

(ප්‍රේතයා)‘‘මේ පින්පව්වල කර්ම විපාක මෙයයි කියල දැකල හෝ අහල හෝ අදහගන්න. මේ පින්පව්වල කර්ම විපාක නැත්නම් සත්වයන් සුගතියට ගියා කියල හරි දුගතියට ගියා කියල හරි දැනගන්නෙ කොහොමද? මේ මිනිස් ලොව මිනිස්සු පින් කියල දෙයක්වත් පව් කියල දෙයක්වත් කරන්නෙ නැත්නම් සුගතියක්වත් දුගතියක්වත් ඇතිවෙන්නෙ නෑ. එහෙම නම් මේ මිනිස් ලෝකයේ උසස් පහත් වෙනස්කමකුත් තිබෙන්ට බෑ. යම් හෙයකින් මේ මිනිස් ලෝකයේ සත්වයන් පින් කියන දෙයත් පව් කියන දෙයත් කරනවාද ඒ හේතූන් නිසාමයි සුගතියට ගිය සත්වයොත් දුගතියට ගිය සත්වයොත් ඉන්නෙ. ඒ නිසාමයි මේ මනුස්ස ලෝකයේ උසස් පහත් අය ඉන්නෙත්. සැප විඳීමටත් දුක් විඳීමටත් හේතුවන කර්ම විපාක ගැන මං අද කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත්වලින් සතුටු වෙනවා. මේ පින්පව්වල වෙනස දකින්නේ නැති අඥානයන් නිරයේ ගිහින් දුක් විඳිනවා. තමන් විසින් කරගත්තු පින් කියල දෙයක් මට නෑ. ඒ වගේම රෙදිපිළි, සේනාසන, ආහාරපාන ආදිය දන් දීල මට පින් දෙනවා නම් එවැනි කෙනෙක්වත් නෑ. ඒ නිසා මං නූල් පොටක්වත් ඇඟේ නැතිව දුක්ඛිත ජීවිතයක් ගෙවනවා.”

(රජතුමා) ‘‘එම්බා පේ‍්‍රතය, ඔබට යම් කිසි පිළිවෙලකින් අඳින්ට යමක් ලැබෙනවා නම් එබඳු දෙයක් තියෙනවා නම් මට කියන්න. ඔබ ඒ කරුණු සහිතව කියන වචනය මං අහනවා.”

(ප්‍රේතයා)‘‘මේ ළඟපාත කප්පිනක කියල භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතාම සිල්වත්. කෙලෙස් දුකෙන් නිදහස් වුන රහතන් වහන්සේ නමක්. ඉඳුරන් රැකගෙන ඉන්නවා. උතුම් ශික්ෂාපදවල හොඳින් හික්මිලා තියෙනවා. සිහිල් වෙලා ඉන්නවා. උතුම් අවබෝධයට පත්වෙලා ඉන්නවා. මොළොක් ගුණ තියෙනවා. යහපත දන් දෙනවා. සොඳුරු වචන කියනවා. සියුමැලියි. හොඳට බණ දහම් දන්නවා. අවබෝධයෙන්ම කතාබස් කරන කෙනෙක්. පින් කෙතක්. නිකෙලෙස් විහරණයෙන් යුක්තයි. දෙව් මිනිසුන්ගේ පුදපූජාවන්ට සුදුසුයි. ශාන්තයි. කෙලෙස් නෑ. දුක් රහිතයි. ආශා රහිතයි. දුකින් නිදහස් වෙලා ඉන්නෙ. කෙලෙස් හුල් ඉවත් කරලයි ඉන්නෙ. මමත්වයක් නෑ. අවංකයි. කෙලෙස් සහිත කර්ම නෑ. හැම ප‍්‍රපඤ්චයක් (කෙලෙස් සහගත කල්පනාවක්) ම ක්ෂය වෙලා තියෙන්නෙ. ති‍්‍රවිද්‍යාවම ලබලයි ඉන්නෙ. නුවණින් බබලනවා. එච්චර ප‍්‍රසිද්ධ නෑ. දැක්කත් මෙවැනි කෙනෙක් බව ලේසියෙන් හඳුනා ගන්ටත් බෑ. වජ්ජි දේශයේ උන්වහන්සේ ගැන කතා කරන්නෙ මුනිවරයෙක් කියලයි. ලෝකයේ යක්ෂයන් භූතයන් උන්වහන්සේ ගැන කිය කියා යන්නෙ ගතිගුණ ඇති කෙලෙස් රහිත උත්තමයා කියලයි. ඉතින් ඔබ ඒ කප්පිනක තෙරුන් වහන්සේට එක වස්ත‍්‍රයක් හරි වස්ත‍්‍ර දෙකක් හරි මා වෙනුවෙන් පූජා කරනවා නම් උන්වහන්සේත් ඒ පූජා කරන වස්ත‍්‍ර පිළිගන්නවා නම් ඔබටම දකින්ට ලැබේවි මං හොඳ ලස්සනට රෙදිපිළි ඇඳල ඉන්න හැටි.”

(රජතුමා) ‘‘ඒ ශ‍්‍රමණයන් වහන්සේ වැඩවාසය කරන්නෙ කොයි පළාතේද? අපි දැන් ගිහින් දැකගන්නවා. අපේ මේ සැකයත්, විචිකිච්ඡාවත්, පින්පව් විශ්වාස නොකරන මිසදිටුවත් කවුරු නම් විශ්වාස කරාවිද?”

(ප්‍රේතයා)‘‘කපිනච්චනා කියන ප‍්‍රදේශයේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නෙ. බොහෝ දෙවිවරුන් පිරිවරාගෙනයි ඉන්නෙ. සත්‍යය යන නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාර්යය විනයෙහි අප‍්‍රමාදීව හික්මෙමින් ධර්ම කතාව වදාරණවා.”

(රජතුමා) ‘‘එහෙනම් මං එහෙම කරන්නම්. දැන්ම ගිහින් ඒ ශ‍්‍රමණයන් වහන්සේට වස්ත‍්‍ර දෙකක් පිළිගන්වන්නම්. උන්වහන්සේ ඒ පිළිගත්තහම ලස්සනට රෙදි ඇඳගෙන ඉන්න ඔබව දකින්ට පුළුවන් වේවි.”

(ප්‍රේතයා)‘‘පින්වත් ලිච්ඡවී රජතුමනි, නුසුදුසු වෙලාවේදී ඔබ වැනි කෙනෙක් පැවිද්දන්ව දකින්ට යන්න එපා. එ්ක ධර්මය නොවෙයි. සුදුසු වෙලාවේදී යන්න. ගිහින් හුදෙකලාවේ භාවනාවෙන් වැඩඉන්න උන්වහන්සේව දැකගන්න.”

එතකොට ඒ ලිච්ඡවී රජතුමා ‘එසේය’ කියල පිළිතුරු දීල සේවක පිරිස් පිරිවරාගෙන එහි ගියා. ඒ නුවරට ගිහින් තමන්ගේ නිවසට පැමිණුනා. ඊට පස්සේ සුදුසු කල් බලල ගිහි කටයුතු නිමා කරල, වතුර නාලා, ආහාරපාන අනුභව කරල අවස්ථාව ලබාගත්තා. පෙට්ටියෙන් රෙදි ජෝඩු අටක් තෝරගත්තා. සේවක පිරිස ලවා ඒකත් ගෙන්නා ගෙන ගියා. ඒ රජතුමා අර ප‍්‍රදේශයට ගියා. ගිහින් ශාන්ත සිත් ඇති ශ‍්‍රමණයන් වහන්සේව දැකගත්තා. පිණ්ඩපාතේ වැඩම කරල පෙරලා වැඩම කරල රුක් සෙවණක නිවී සැනහී වැඩඉන්න උන්වහන්සේව දැක්කා. ඊට පස්සේ ඔහු උන්වහන්සේ වෙත ගියා. සැප දුක් පහසු විහරණය ගැන ඇසුවා.

(රජතුමා)‘‘ස්වාමීනී, මං විශාලා මහනුවර ලිච්ඡවී රජකෙනෙක්. මං ගැන කවුරුත් දන්නෙ අම්බසක්ඛර ලිච්ඡුවී රජ කියලයි. ස්වාමීනි, මේ පිළි සඟල අට පිළි ගන්නා සේක්වා! මං ඔබ වහන්සේට මේවා පූජා කරනවා. ඒ ගැන මං සතුටක් ඇති කර ගන්නවා නම් අන්න ඒ කාරණාවට තමයි මං මෙහේ ආවේ.”

(මහා කච්චාන මහ රහතන් වහන්සේ)‘‘ශ‍්‍රමණයන් වහන්සේලාත් බ‍්‍රහ්මණවරුත් ඔබතුමාගේ නිවස දුරින්ම දුරු කරල නෙව ඉන්නෙ. ඔබේ නිවස අසලදී ඔබ නිසා පාත‍්‍රා බිඳෙනවා නෙව. සඟල සිවුරුත් කීතු කීතුවලට ඉරල දානවා නෙව. සමහරු ඒ පාද නමැති කෙටේරිවලින් ශ‍්‍රමණයන් වහන්සේලාව හිස බිම වදින්න පෙරලලා දානවා නෙව. ඔය විදිහට පැවිද්දන්ට හරිම පීඩාවක් ලැබෙනවා. ඔබ කරපු දේවල් නිසයි ශ‍්‍රමණයන් වහන්සේලා දුකට පත් වුණේ. ඔබ ඉතින් තණ අගින් වෑහෙන තෙල් බිඳක් තරම්වත් දීල නෑ නෙව. පාර තොට මුලාවෙච්ච කෙනෙකුට මාර්ගයවත් පෙන්වලා නෑ නෙව. අන්ධ මිනිසාගේ හැරමිටියත් උදුරා ගත්තා. මෙවැනි කෑදර අසංවර කෙනෙක් වුණ ඔබ කුමන ගුණයක් නිසාද අපට මේ දන් දීම් කරන්නෙ?”

(රජතුමා)‘‘ස්වාමීනි, මං ඔය කියාපු දේවල් පිළිගන්නවා. මං ශ‍්‍රමණබ‍්‍රාහ්මණයන්ව වෙහෙසට පත් කළා තමයි. හැබැයි මං ඒව කළේ සෙල්ලමටයි. නපුරු හිතකින් නම් නොවෙයි. ස්වාමීනි, ඒක වුණත් මං කරපු නරක දෙයක්. එක්තරා පේ‍්‍රතයෙක් සෙල්ලමට පව් රැස් කරල දැන් දුක් විඳිනවා. සැපසම්පත් සම්පූර්ණ නෑ, හොඳ තරුණයෙක්. ඒ වුණාට විලිවහගන්ට නූල්පොටක්වත් නෑ. ඊටත් වඩා බරපතල දුකක් කොයින්ද? ස්වාමීනි, මං ඒ පෙරේතයාව දැක්කා. මට සංවේගයක් ඇති වුණා. ඒ හේතුව නිසයි මං ඔබවහන්සේට මේ දානය දෙන්නෙ. ස්වාමීනි, මේ වස්ත‍්‍ර යුගල අට පිළිගන්නා සේක්වා! මෙයින් ලද පින ඒ පේ‍්‍රතයා වෙත පැමිණේවා!”

(මහා කච්චාන මහ රහතන් වහන්සේ)‘‘ඒකාන්තයෙන්ම දන් දීම වනාහි බුද්ධාදී උතුමන් විසින් නොයෙක් විදිහට ප‍්‍රශංසා කරල තියෙන්නෙ. දන් දෙන්නා වූ ඔබගේ ධනය ක්ෂය නොවන තත්වයට පත් වේවා! ඔබගේ ඔය වස්ත‍්‍ර යුගල මං පිළිගන්නම්. මේ පින පේ‍්‍රතයා වෙතද පැමිණේවා!”

එතකොට ඒ ලිච්ඡවී රජු මුව සෝදා ගෙන තෙරුන් වහන්සේට වස්ත‍්‍ර යුගල අට පූජා කරල ‘මේ වස්ත‍්‍ර පිළිගනු ලැබේවා! ලස්සනට රෙදි ඇඳගත් පේ‍්‍රතයාව දැක ගන්ට ලැබේවා!’ කියල කිව්වා. එතකොට ඔහු අර පෙරේතයාව දැක්කා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සනට වස්ත‍්‍ර ඇඳලා අලංකාර වෙලා ඉන්නවා. ඒ වගේම සැරසුණු පිරිවර සේනාව මැද ආජානීය අශ්වයෙකුගේ පිට නැඟල ඉන්නවා. මහා සැප සම්පත් ලබලා. ඒ රජතුමා ඒ පෙරේතයාව දැකලා පුදුම සතුටකට පත් වුණා. තුටු පහටු වුණා. සුන්දර ස්වරූප ඇති ඒ කර්මයේ මහා විපාක දැක්කා. මෙලොව දීම තමන්ගේ ඇස්වලින් ප‍්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ රජතුමා ඔහු ළඟට ගිහින් මෙහෙම කියනවා.

(රජතුමා)‘‘‘මං ශ‍්‍රමණබ‍්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසි ම දෙයක් නෑ. පින්වත් යක්ෂය, නුඹ මට බොහෝම උපකාර කළා.”

(ප්‍රේතයා)‘‘ලිච්ඡුවී රජතුමනි, ඔබ මට ඔය දුන්නේ සිව්පසයෙන් එක කොටසක් වූ වස්ත‍්‍ර දානයයි. ඒ දානය හිස් දෙයක් නොවෙයි. මං දැන් අමනුස්සයෙක් වෙලත් මනුෂ්‍යයෙක් වුණ ඔබත් සමගයි මේ මූණට මූණ කතා කරන්නෙ.”

(රජතුමා)‘‘පින්වත් යක්ෂය, ඔබ මං යන ගමනද මගේ ඤාතියාද පිහිටද මිත‍්‍රයාද බවට පත් වෙන්න. මගේ ඉටු දෙවියා වෙන්න. මං ඔබට මේ ඇඳිලි බැඳගෙනයි කියන්නෙ. මං ආයෙමත් ඔබව දකින්න කැමතියි.”

(ප්‍රේතයා)‘‘හැබැයි යම් හෙයකින් ඔබට ශ‍්‍රද්ධාව නැති වුණොත් කෑදර වුණොත් නොමගට බැස ගත් සිතක් ඇති කර ගත්තොත් අන්න ඒ හේතුව නිසාම ඔබට මාව දකින්න නොලැබී යාවි. දැක්කත් ඔබ සමග කතා කරන එකක් නෑ. ඒ වගේම ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව හිටියොත් දන් දීමට ඇලී හිටියොත් අනුන්ට ඇප උපකාර කරන ජීවිතයක් ඇති කර ගත්තොත් ශ‍්‍රමණබ‍්‍රාහ්මණයින්ට පැන්තාලියක් වගේ ඔබ හිටියොත් අන්න එතකොට ඔබට මාව දැකගන්න ලැබේවි. ස්වාමීනි, ඔබ දැකලා මං කතාබස් කරනවා. ඒ නිසා ඉක්මණින් ම මේ පුරුෂයාව ඔය හුලෙන් මුදවන්න. යම් කරුණක් නිසා අපි මුණට මුණ කතාබස් කළා නම් මං හිතන්නෙ ඒකට හේතුව වුණේ මේ හුල මත ඉන්න පුද්ගලයා ළඟට අපි ආපු නිසයි. අපි දෙදෙනා එකිනෙකා මූණට මූණ කතාබස් කර ගත්තා. මේ හුල මත ඉන්න පුද්ගලයාත් වහා නිදහස් වුණොත් හොඳට පින්දහම් කර ගෙන නිරයෙනුත් නිදහස් වේවි. හැබැයි ඔහුට වෙන තැනක ගිහින් විඳින්ට සිද්ධ වෙන තව අකුසල කර්මයක් තියෙනවා. ඔහුත් සමග ඔබ ගිහින් කප්පිනක තෙරුන් වහන්සේව සුදුසු කාලයේදී බැහැ දැකලා දන් පැන් පූජා කරල උන්වහන්සේ ඉදිරියේම අහල දැන ගන්න. උන්වහන්සේ ඔබට ඔය විස්තර කියල දේවි. හැබැයි උන්වහන්සේ ළඟට ගිහින් අවබෝධ කර ගන්න අදහසින්මයි අහන්ට ඕන. නපුරු සිතකින් නම් නොවෙයි. ඔබ අහපු දෙයක් වුණත් නෑසූ දෙයක් වුණත් ඒ හැම දෙයක් ගැනම තමන් වහන්සෙ දන්න විදිහට කියලා දේවි.”

ඒ රජතුමා එහිදී අමනුෂ්‍යයාත් එක්ක රහසේ කතාබස් කරල පොරොන්දු කරවාගෙන ගියා. ඊට පස්සෙ ඔහු ලිච්ඡවීන්ගේ සභාවටත් ගියා. එතැන රැස්වෙලා සිටිය පිරිසට මෙහෙම කිව්වා.

(රජතුමා)‘‘පින්වත්නි, මං මේ කියන එකම දෙය අසනු මැනැව. මං ඔබගෙන් වරයක් ඉල්ලා හිටිනවා. මං ඒ වරය ලබාගන්නවා. හුලමත ඉන්දවාපු පුරුෂයෙක් ඉන්නවා. ඔහු නපුරු වැඩකරපු කෙනෙක් තමයි. දඬුවම් ලබලයි ඉන්නෙ. නමුත් ඔහු රජු කෙරෙහි හිතවත් කෙනෙක්. දැන් ඔහුව හුල මත ඉන්දවපු දවසේ ඉඳල විසි රැයක් ගෙවුණා. ඔහු ජීවත් වෙන්නෙත් නෑ. මැරිලත් නෑ. මං දැන් ඔහුව නිදහස් කරනවා. මේ පිරිස එය අනුමත කරනු මැනව.”

(රජපිරිස)‘‘එහෙනම් මොහුවත් රජ අණ ලද අනිකාවත් නිදහස් කරන්න. ඔබ ඒ විදිහට නිදහස් කරන කොට එපා කියන්න කවුද ඉන්නෙ? ඔබ යම් විදිහකින් දන්නවා නම් ඒ විදිහට කළ මැනැව. පිරිස ඒක අනුමත කරනවා.”

ඒ රජතුමා ඒ ප‍්‍රදේශයට ගියා. හුල මත හිටි ඒ පුරුෂයාව වහාම නිදහස් කළා. ‘මිත‍්‍රයා, භය වෙන්ට එපා’ කියල කිව්වා. ඔහු ළඟට වෙද මහත්තුරුන් එක්කන් ආවා. රජ්ජුරුවන්ටත් මේ කාරණය දැන ගන්ට ඕන වුණා. ඉතින් ඔහුත් සමඟ කල්යල් බලල කප්පිනක තෙරුන් වහන්සේ බැහැදකින්ට ගියා. දන් පැන් පූජා කරගත්තා. උන්වහන්සේ ඉදිරියේම මේ කාරණය විමසන්න වුණා.

(රජතුමා)‘‘හුලමත ඉන්දවපු පුරුෂයා දරුණු වැඩකරපු කෙනෙක්. දඬුවම් ලබපු කෙනෙක්. රජු කෙරෙහි හිතවත් කෙනෙක්. ඔහු හුල මත ඉන්දවපු දවසේ පටන් විසි රැයක් ඉක්මවා ගියා. ඔහු ජීවත් වුණෙත් නෑ. මැරුණෙත් නෑ. ස්වාමීනි, මං එහෙ ගිහිල්ල ඒ පුද්ගලයාව දැන් නිදහස් කරලයි ඉන්නෙ. අර පේ‍්‍රතයාගේ කීම අහලයි මං මෙහෙම කළේ. ස්වාමීනි, ඔහු යම් කරුණකින් නිරයට යන්නෙ නැත්නම් එබඳු කිසියම් කාරණාවක් තියෙනවාද? ස්වාමීනි, ඒ වගේ දෙයක් තියෙනවා නම් පැවසුව මැනැව. අපි කරුණු සහිතව විශ්වාස කටයුතු විදිහට කියන දේ අහනවා. මොලොවදී කරපු ඒ කර්මයන්ගේ විපාක නොවිඳ ගෙවිල විනාශ වීමක් නැද්ද?”

(මහා කච්චාන මහ රහතන් වහන්සේ)‘‘යම් හෙයකින් එයා අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන්ට ඕන. දිවා රෑ දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්නට ඕන. එතකොට එයා නිරයේ දුකින් නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මය වෙන භවයක ඉපදිලා විඳින්ට සිද්ධ වෙනවා.”

(රජතුමා)‘‘ස්වාමීනි, ඒ මනුස්සයා ගැන මං අහපු කාරණාව දැනගත්තා. දැන් මා කෙරෙහිද අනුකම්පා කළ මැනැව. මහා ප‍්‍රඥාවන්ත මුනිඳුනි, මටත් අවවාද කරන සේක්වා! එතකොට මාත් නිරයෙන් නිදහස් වේවි.”

(මහා කච්චාන මහ රහතන් වහන්සේ)‘‘එහෙම නම් ඔබ අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ශී‍්‍ර සද්ධර්මයත්, ආර්යය සංඝරත්නයත් සරණ යන්න. ඒ වගේම සිදුරු නැතිව, පැල්ලම් නැතිව පන්සිල් පද පහ සමාදන්ව ආරක්ෂා කරගන්න. ඉක්මණින් ම සතුන් මැරිමෙන් වළකින්න. ලෝකයෙහි සොරකම් කිරීම දුරුකරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙන්න. ඔය විදිහට තිසරණයත්, සිල්පද පහත් කියන උතුම් අංග අටෙන් යුතු සීලයෙන් යුතු වන්න. එයින් බොහෝ සැප විපාක ලබා දෙනවා. සිවුරු, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන, දන්පැන් ආදිය, වස්ත‍්‍ර ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් සෘජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පුජා කරගන්න. සිල්වත් වීතරාගී බහුශ‍්‍රැත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව ආහාරපාන ආදියෙන් සන්තර්පණය කරන්න. ඒකෙන් හැමදාම පින් වැඩෙනවා. මේ විදිහට අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන්ට ඕන. දිවා රෑ දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්ට ඕන. එතකොට ඒ තැනැත්තා නිරයේ දුකින් නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මය වෙන භවයක ඉපදිලා විඳින්ට සිද්ධ වෙනවා.”

(රජතුමා)‘‘මම අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ශී‍්‍ර සද්ධර්මයත්, ආර්යය සංඝරත්නයත් සරණ යනවා. ඒ වගේම සිදුරු නැතිව, පැල්ලම් නැතිව පන්සිල් පහ සමාදන්ව ආරක්ෂා කරගන්නවා. ඉක්මණින්ම සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නෙ නෑ. බොරු කියන්නෙ නෑ. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙනවා. ඔය විදිහට තිසරණයත්, සිල්පද පහත් කියන උතුම් අංග අටෙන් යුතු බොහෝ සැප විපාක ලබාදෙන සීලයෙන් යුතු සිල්වතෙක් වෙනවා. සිවුරු, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන, දන්පැන් ආදිය, වස්ත‍්‍ර ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් සෘජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පුජා කර ගන්නවා. සිල්වත් වීතරාගී බහුශ‍්‍රැත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. බුද්ධානුසාසනාවෙහි ඇලී වාසය කරන උන්වහන්සේලාට මං දන් පූජා කර ගන්නවා. සිල්පද කඩා ගන්නෙ නෑ.”

ඔය විදිහට අම්බසක්ඛර ලිච්ඡවී රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් බවට පත් වුණා. ශ‍්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදිහට උපස්ථාන කළා. හුලමත හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යන එන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡවි රජුයි, ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා.

සත්පුරුෂයන් වහන්සේලාව සේවනය කළොත් ඔය විදිහ තමයි. ජීවිතාවබෝධය ඇති සත්පුරුෂ ඇසුර මහත්ඵල ලබා දෙනවා. හුල මත හුන් පුරුෂයා අරහත්ඵලයට පත් වුණා. අම්බසක්ඛර රජතුමා සෝවාන් ඵලයට පත් වුණා.

සාදු! සාදු!! සාදු!!!

උපුටා ගැනීම – ඛුද්දක නිකායේ පේත වත්ථු විමාන වත්ථු ග්‍රන්ථයෙනි.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ