මාගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, අසිරිමත් නුවණින් බබළන අනාවරණ ප‍්‍රඥා ඇති මුනිරජාණන් වහන්ස, හාත්පස දකින නෙත් ඇති විශාරද නුවණ ඇති පැනසරාණන් වහන්ස, මුඹ වහන්සේ ගේ සක් ලකුණින් යුතු සොඳුරු පාකමල් නමදිමින් මෙය ලියා දක්වන්නට අවසර.

මාගේ ස්වාමීනී, මේ වන විට මුඹ වහන්සේ ගේ ශ‍්‍රාවක වූ මේ ලක්දිව වාසය කරන ජනයා මුඹ වහන්සේ විසින් පිහිටුවා වදාළ උතුම් ගෞතම බුදු සසුනේ දී ම සසර දුකින් අත්මිදීමට ඇති දුර්ලභ අවස්ථාව ගැන යන්තමින් වත් දැනුවත් වී නොසිටිති. ඒ පිළිබඳව යම් දැනුවත්කමක් ඇත්නම් එය ද එතරම් පැහැදිලි නැත්තේ සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, මහා කච්චාන, ආනන්ද ආදී මහ තෙරුන් වහන්සේලා ගේ ධර්ම ප‍්‍රචාරය වැනි දහම් සේවාවන් මෙහි කිසිසේත් ම නැති නිසාය. මුඹ වහන්සේ ගේ ශ‍්‍රාවක වූ මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට ධර්මය පෙන්වා දෙන්ට කෙනෙක් ද දැන් නැත. එම නිසා ස්වාමීනී, බොහෝ දෙනෙක් ජීවිතය ගැන සිතාගෙන සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිවෙළට නොවේ. ඔවුනට කල්‍යාණ මිත‍්‍ර සේවනය, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව යන උතුම් සෝතාපත්ති අංග හතර ලැබී නැත. එම නිසා භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අමෘතාවහ ධර්මය ගැන විශ්වාසයක් ද නැත. නමුත් ඔවුහූ නිසරු මිසදිටු ඇදහිලි නම් ප‍්‍රණීත රසැති මී වදයක් ලෙවකන පරිද්දෙන් කුල්මත්ව වැළඳ ගනිති. එනමුදු ස්වාමීනී, ඔවුන් ප‍්‍රඥා රහිත යැයි කිව නොහැකිය. ඔවුනට කල්‍යාණ මිතුරන් ගේ ඇසුර ලැබුණහොත් සත්‍ය වශයෙන්ම ඔවුන් තුළ ද යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම පටිපදාවත් ඇතිකරගනු නිසැකය.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විසින් නොයෙක් තන්හිදී වදාරණ ලද ඒ සුමිහිරි ශ්‍රී සද්ධර්මය කියැවීමේ භාග්‍යය අපට ද ලැබුණි. ඒ නරෝත්තම වූ මුඹ වහන්සේ ගේ අසිරිමත් ප‍්‍රඥාව ගැන කවරහුට නම් විශ්මයට පත් නොවී සිටිය හැකි ද? ඒ ප‍්‍රඥාව එතරම්ම ආශ්චර්ය ජනකය.

ස්වාමීනී, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මුඹ වහන්සේ විසින් වදාරන ලද මිහිරි ශ්‍රී සද්ධර්මයට අයත් දීර්ඝ දේශනා ඇතුළත් කොටසක් අප සතුව තිබේ. පළවෙනි ධර්ම සංගායනාවේදී මුඹ වහන්සේ ගේ ශ‍්‍රාවක වූ ක්ෂීණාශ‍්‍රවයන් වහන්සේ ලා විසින් එය හඳුන්වන ලද්දේ දීඝ නිකාය වශයෙනි. මෙහි සීලක්ඛන්ධ වර්ගයෙහි සූත‍්‍ර දේශනා දහතුනක් ඇතුළත්ව තිබේ. දෙවෙනි වර්ගය හඳුන්වන්නේ මහා වර්ගය නමින්ය. එහි සූත‍්‍ර දේශනා දහයක් ද තුන්වැනි පාථික වර්ගයේ සූත‍්‍ර දේශනා එකොළහක් ද ඇතුලත්ව තිබේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විසින් වදාරන ලද කරුණක් දීඝ නිකායේ පළමු සූත‍්‍ර දේශනාව වන බ‍්‍රහ්මජාල සූත‍්‍රයෙහි මේ අයුරින් සඳහන් ව තිබේ. එනම්,

”පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ගේ කය පවතින්නේ මුලින් ම සිඳ දමන ලද තණ්හා භව රැුහැන් ඇතිවය. තථාගතයන් වහන්සේ ගේ බුදු සිරුර පවතින්නේ යම්තාක් කල් ද, දෙවි මිනිසුන් හට ඒ බුදු සිරුර දකින්නට ලැබෙන්නේ ද ඒතාක් කල් පමණි. ජීවිතය ගෙවී ගිය කල්හී කය බිඳී ගොස් පිරිනිවනට පත් වූ කල්හි දෙවි මිනිසුන් හට නැවත ඒ තථාගත ශරීරය දකින්නට නොලැබෙනු ඇත.

පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයකි. අඹ පොකුරක් නටුවෙන් ගිලිහී යන විට ඒ නටුව හා බැඳුන කොපමණ අඹ තිබුණද ඒ සියලු අඹ නටුවෙන් ගිලිහී යන්නේය. ඒ ආකාරයට ම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ගේ කය පවතින්නේ ද මුලින් ම සිඳ දමන ලද තණ්හා භව රැහැන් ඇතිවය. තථාගතයන් වහන්සේ ගේ බුදු සිරුර පවතින්නේ යම්තාක් කල්ද දෙවි මිනිසුන් හට ඒ බුදු සිරුර දකින්නට ලැබෙන්නේ ද ඒ තාක් කල් පමණි. ජීවිතය ගෙවී ගිය කල්හි කය බිඳී ගොස් පිරිනිවුන කල්හි දෙවි මිනිසුන්ට ඒ තථාගත ශරීරය යළි දකින්නට නොලැබෙනු ඇත” යනුවෙනි.

ඉතින් භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ ගැන ඒ වදාළ කරුණ අප කියවද්දී අප ගේ හදවතට මහා වේදනාවක් ඇති විය. දෙතිස් මහා පුරිස ලකුණින් සෝභමාන වූ, සුන්දරත්වයෙන් අනූන වූ දේහවිලාස ඇති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව නැවත කිසි දිනක දකින්නට නොලැබෙන්නේය කියාය. ස්වාමීනී, එවිට ම මුඹ වහන්සේ ගේ ශ‍්‍රාවක වූ වක්කලී ස්වාමීන් වහන්සේට වදාරන ලද අවවාදය අපගේ සිහියට නැගුනි. ඒ වක්කලී සූත‍්‍රය සංයුත්ත නිකායෙහි තුන්වන කොටසෙහි සඳහන් වේ. එහිදී මුඹ වහන්සේ වදාළේ මේ ආකාරයෙනි.
”පින්වත් වක්කලී, මේ කුණු කය දැකීමෙන් ඇති ඵලය කිම….? පින්වත් වක්කලී යමෙක් වනාහී ධර්මය දකී නම්, ඔහු මා දකින්නේය. යමෙක් වනාහී මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය”

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එය එසේම ය…… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එය එසේම ය….. මුඹ වහන්සේ ගේ පරිනිර්වාණයෙන් වසර 2548 ක් ගෙවී යන මේ මොහොතේ පවා එය එසේම ය. අපි බොහෝවිට මුඹ වහන්සේ ගේ ස්වරූපය මෙබඳු මෙබඳු වන්නට ඇත කියා පිළිම වහන්සේලා නිර්මාණය කරමු. ඒවාට වැඳුම් පිදුම් ද කරමු. නමුත් ස්වාමීනී, මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වැනි බුදු සමිඳාණන් ලෙස පහළ වී වදාළ අසිරිමත් මනුෂ්‍ය මාණික්‍යය වන ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ යනු කවරහුදැයි අපට අවබෝධ කරගත හැක්කේ මුඹ වහන්සේ වදාළ ධර්මය තුලින් ම පමණි.

ඉතින් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එම දීඝ නිකායෙහි බ‍්‍රහ්මජාල සූත‍්‍රය, සාමඤ්ඤඵල සූත‍්‍රය, අම්බට්ඨ සූත‍්‍රය, සෝණදණ්ඩ සූත‍්‍රය, කූටදන්ත සූත‍්‍රය, මහාලී සූත‍්‍රය, ජාලිය සුත‍්‍රය, සීහනාද සූත‍්‍රය, පොට්ඨපාද සූත‍්‍රය, සුභ සූත‍්‍රය, කේවඞ්ඪ සූත‍්‍රය, ලෝහිච්ච සූත‍්‍රය, තේවිජ්ජ සූත‍්‍රය, මහාපදාන සූත‍්‍රය, මහා නිදාන සූත‍්‍රය, මහා පරිනිබ්බාන සූත‍්‍රය, මහා සුදස්සන සූත‍්‍රය, ජනවසභ සූත‍්‍රය, මහා ගෝවින්ද සූත‍්‍රය, මහා සමය සූත‍්‍රය, සක්ක පඤ්හ සූත‍්‍රය, මහා සතිපට්ඨාන සූත‍්‍රය, පායාසි රාජඤ්ඤ සූත‍්‍රය, පාථික සූත‍්‍රය, උදුම්බරික සීහනාද සූත‍්‍රය, චක්කවත්ති සීහනාද සූත‍්‍රය, අග්ගඤ්ඤ සූත‍්‍රය, සම්පසාදනීය සූත‍්‍රය, පාසාදික සූත‍්‍රය, ලක්ඛණ සූත‍්‍රය, සිගාලෝවාද සූත‍්‍රය, ආටානාටිය සූත‍්‍රය, සංගීති සූත‍්‍රය, දසුත්තර සූත‍්‍රය, යන උතුම් දෙසුම් ඇතුලත්ව තිබේ.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ අග‍්‍ර ශ‍්‍රාවක වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළ සූත‍්‍ර දේශනා තුනක් ද ඇතුලත්ව තිබේ. එනම් සම්පසාදනීය සූත‍්‍රය, සංගීති සූත‍්‍රය හා දසුත්තර සූත‍්‍රය යි. භාග්‍යවතුන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු කුමාර කස්සප රහතන් වහන්සේ වදාළ සූත‍්‍ර දෙසුමක් වන පායාසි රාජඤ්ඤ සූත‍්‍රය ද මෙහි ඇතුලත්ව තිබේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හා ශ‍්‍රාවකයන් වහන්සේලා ගේ ධර්මය ද අදහසින් අදහස අරුතින් අරුත වචනයෙන් වචනය පදයෙන් පදය මනාකොට ගැලපී යන ආකාරය ඉතාම විශ්මය ජනකය. එහි සැක මතුවන සිත් පටලැවෙන අමුතු දේ නැත. එමෙන්ම ස්වාමීනී, සතරවරම් දෙවිවරුන් පැමිණ සිව්වණක් ශ‍්‍රාවක පිරිස ගේ ආරක්ෂාව පිණිස ඉගෙන ගැනීමට පෙන්වා දුන් ආටානාටිය සූත‍්‍රය මුඹ වහන්සේ විසින් අනුමත කොට වදාළ නියාව දැක්වෙන ආටානාටිය සූත‍්‍රය ද අපි හොඳින් කියැවූවෙමු. මේ ජීවිතයේ දී මගඵල ලබනු පිණිස සම්මා දිට්ඨියෙන් යුතුව සම්මා සතිය දියුණු කළ හැකි ආකාරය ගැන කියැවෙන මහා සතිපට්ඨාන සූත‍්‍රය කියැවූ අපි බලවත් සොම්නසට පත්වූයෙමු. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මෙහි බොහෝ දෙනෙකු සිතාගෙන සිටින්නේ මුඹ වහන්සේ විසින් වදාළ ධර්මය අනුගමනය කොට ප‍්‍රතිඵල නොලැබිය හැකි බවයි. ඒ තුළින් පහර වදින්නේ මුඹ වහන්සේ ගේ අසිරිමත් විශාරද ඤාණයට බව ඒ අඥානයන් නොදැන සිටීම අවාසනාවෙකි. මුඹ වහන්සේ විසින් ඒ විශාරද ඤාණ ගැන වදාළ කරුණ තවමත් සිතෙහි රැව් පිළිරැව් දේ.

‘‘පින්වත් මහණෙනි, ‘ඔබ විසින් යම් අර්ථයක් පිණිස මේ ධර්මය දෙසන ලද්දේ නමුත් ඒ ධර්මය කොතරම් පුරුදු පුහුණු කළද මනාකොට දුක් අවසන් වීම පිණිස මග ඵල ලැබිය නොහැක්කේ’ යැයි කියා යම්කිසි ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා, මාරයෙක් වේවා, ලෝකයෙහි කිසිවෙක් වේවා ඔය කරුණෙහිලා සාධාරණ පදනමක් මත මා හට චෝදනා කරන්නේය යන්න පිළිබඳව පින්වත් මහණෙනි, මම නිමිත්තක්වත් නොදකිමි. පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා නිමිත්තක් වත් නොදකින මම තුන්ලොව තුළ ම ක්ෂේම බවට පත්වී සිටිමි. බිය රහිත බවට පත් වී සිටිමි. විශාරද බවට පත්ව වාසය කරමි” යනුවෙන් ස්වාමීනී, අංගුත්තර නිකායෙහි වේසාරජ්ජ සූත‍්‍රයෙහි සඳහන්ව තිබෙන මෙකරුණ නොදන්නා වූ ඒ දුෂ්ප‍්‍රාඥ වූ ජඩ වූ කෙලතොළු වූ අප‍්‍රතිබලව තථාගත බුද්ධ වචනයෙහිත් නොමනාකොට පවසන ලද මිසදිටුවෙහිත් වෙනස දකින්නට ශක්තිසම්පන්න නොවූ අවාසනාවන්තයින් මුඹ වහන්සේට චෝදනා කරත් ම ය. ”මෙකල නිවන් දැකිය නොහැකිලු, ආර්ය සත්‍ය අවබෝධය නොකළ හැකි දෙයක් ලු, පැවිද්ද යනු වඳ බැස ගත් දෙයක්ලු, සමථ විදර්ශනා යනු අරුත් සුන් දෙයක්ලු, ගෞතම බුදු සසුනේ මගඵල අවබෝධ කිරීම බැරි දෙයක්ලු” අනේ ස්වාමීනී, ඒ බාල අසත්පුරුෂයින් තමනුත් අපායගාමී වෙමින් අන්‍යයන්වද අපායගාමී මගට දමමින් මාරයා ගේ වසඟයට යන්නේ මහා සුළඟින් ඇදවැටෙන කේඬෑරි වී ගිය කණාටු ගස් පරිද්දෙනි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මහා පරිනිබ්බාන සූත‍්‍රය කියවද්දී අප ගේ හදවත රිදුම් දෙයි. නෙතග කඳුළු නැගෙයි. අපටත් හොරා හදින් සුසුමන් නැගෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ උදාර ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය එතරම්ම අනුවේදනීය ආකාරයෙන් එහි විස්තර වීම සැබැවින්ම අසිරිමත්ය. එමෙන්ම ස්වාමීනී, මහා පරිනිබ්බාන සූත‍්‍රය කියවන විට අපට දැනෙන්නේ අපත් මුඹ වහන්සේ ඉදිරියේ සිටින බවයි. මුඹ වහන්සේට ක්ලාන්තය සෑදී අනඳ හිමියන් ගෙන් පැන් ඉල්ලන විට අනඳ හිමියන් පැන් සොයා ගොස් පැන් සොයාගත නොහැකිව හිස් පාත‍්‍රය රැගෙන ක්ලාන්තයෙන් සැතපී සිටින මුඹ වහන්සේ කරා වඩිද්දී කුමක් සිතෙන්නට ඇතිද? ස්වාමීනී, ඒ උපවර්තන සාල වනෝද්‍යානයෙහි සල් වෘක්ෂයන් දෙක සෙවනෙහි මුඹ වහන්සේ වැඩ සිටිද්දී පරසතු මදාරා පුෂ්පයන් අහසින් එතැනට වැටුනේය. නොකල්හි පිපී ගිය සොඳුරු සල් මල් එකිනෙක ගිලිහී මහ පොළොව මල් යහනාවක් සැදුනි. දිව්‍ය සුගන්ධය මුසු වූ මන්ද මාරුතය ගත සිහිල් කරමින් හමා ගියේය. දිව්‍ය සත්සර නදින් නැගෙන සෝකී රාවයක් හාත්පසින් ඇදී සවන්පත් අග මුමුනන්නට වූයේය. ස්වාමීනී, අනඳ හිමියන් මෙය අසිරියක් ලෙස දකිද්දී ඒකාන්තයෙන් ම අසිරිමත් වූයේ මුඹ වහන්සේ ගේ ඒ වීතරාගී සම්බුදු හදවත ම යි. එදා සම්බුද්ධත්වය ලද මොහොතේ ඒ නිකෙලෙස් හදවත උදෙසා අරහං යන උදාර බුදුගුණ නාමය මුඹ වහන්සේ ලද සේක් ද පිරිනිවන් පානා මොහොතේ පවා ඒ අරහං යන බුදු ගුණය ඉස්මතු වූයේ විශ්මිත ලෙසය. මුඹ වහන්සේ කිසිවකට ඇලුනේ නැත. ඒ මොහොතේ පවා අනඳ හිමියන් හට වදාළේ මෙවැනි පුද පූජා වලින් තමන් වහන්සේව නිසි ලෙස පිදිය නොහැකි බවයි. තමන් වහන්සේව පිදිය හැක්කේ ඒ ධර්මයේ හැසිරීමෙන් ම බව වදාළ අයුරු කොතරම් මනහර ද?

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි වනාහී මේ මනුලොවෙහි සිටින මහා පිනැතියෝ වම්හ. අපට දික් සඟියෙහිලා වදාල දෙසුම් පමණක් නොව මජ්ඣිම නිකායෙහිලා වදාළ මධ්‍යම ප‍්‍රමාණ දේශනාවන් ද කියවීමට තරම් වාසනාවක් උදාවිය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ මැදුම් සඟියෙහිලා මුඹ වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද දෙසුම් එකසිය පනස් දෙකක් ඇතුළත් ව තිබේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගේ දේශනාත් මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ ගේ දේශනාත් මහා කච්චාන රහතන් වහන්සේ ගේ දේශනාත් මන්තානි පුත්ත පුණ්ණ රහතන් වහන්සේ ගේ දේශනාත් මැඳුම් සඟියෙහි ඇතුළත්ව තිබේ. ස්වාමීනී, පළමු ධර්ම සංගීතියෙහිදී මහ රහතන් වහන්සේලා විසින් එය කොටස් වශයෙන් සංග‍්‍රහ කොට ඇති ආකාරය පවා ඉතා විශ්මිතය. ස්වාමීනී, ඒ මැඳුම් සඟියෙහි කොටස් තුනක් තිබේ. එහි පළමු සූත‍්‍ර පනහ හඳුන්වන්නේ මූල පණ්ණාසකය නමින්ය. එහි වර්ග පහක් තිබේ. එක් එක් වර්ගයට සූත‍්‍ර දහය බැගින් ඇතුලත්ව ඇත. මූල පරියාය වර්ගය, සීහනාද වර්ගය, ඕපම්ම වර්ගය, මහා යමක වර්ගය, චූල යමක වර්ගය නමින් එය හැඳින්වේ. දෙවන කොටසෙහි ඇති සූත‍්‍ර පනහ හඳුන්වන්නේ මජ්ඣිම පණ්ණාසකය නමින්ය. එහි ද සූත‍්‍ර දහය බැගින් යුතු වර්ග පහක් තිබේ. ගහපති වර්ගය, භික්ඛු වර්ගය, පරිබ්බාජක වර්ගය, රාජ වර්ගය, බ‍්‍රාහ්මණ වර්ගය නමින් එම වර්ග හැඳින්වේ. ඊළඟ සූත‍්‍ර පනස් දෙක හඳුන්වන්නේ උපරි පණ්ණාසකය නමින්ය. එහිද වර්ග පහක් තිබේ. දේවදහ වර්ගය, අනුපද වර්ගය, සුඤ්ඤත වර්ගය, විභංග වර්ගය, සළායතන වර්ගය නම් වූ ඒ වර්ග පහෙන් විභංග වර්ගයෙහි පමණක් සූත‍්‍ර දොළහක් ඇතුළත්ව තිබේ.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඒ දෙසුම් කියවද්දී අවිද්‍යා සහගත වූ සම්මෝහයෙන් වෙලී සිටි ජනතාව ගේ ඒ මෝහ පටලය නම් වූ කඩතුරාව සී සී කඩව ගිය වැරහැලි බවට පත්කොට යුගාන්තයෙහි අහස්කුස දිලිහෙන හිරු මඬල පරිද්දෙන් ආලෝකය විහිදුවන මුඹ වහන්සේ ගේ ප‍්‍රඥාව ඉස්මතු වෙන ආකාරය වර්ණනා විෂය ඉක්මවා යන්නේය. එමෙන්ම ස්වාමීනී, මෙම දෙසුම් වල ඇති සුවිශේෂී බව නම් ඒවා කියවන සෑම වාරයක දී ම අපට දැනෙන්නේ අළුතින් ම කියවන බවයි. කලින් කියැවූ දෙයක් පවා යළි කියවද්දී එහි අවබෝධ නොකළ යමක් සුළුවෙන් හෝ අලුතින් වැටහෙන ස්වභාවයක් තිබේ. ස්වාමීනී, එයින් ලැබෙන සතුට වනාහී කිසිදු ආහාරයකින් හෝ කිසිදු තූර්ය වාදනයකින් හෝ කිසිදු නෘත්‍ය රංගනයකින් හෝ නොලද හැක්කේමය.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විසින් ප‍්‍රඥාව දියුණු කළ හැකි සත්වයන් දැක වදාරන ලද්දේ පොකුණෙක පැල වී වතුරෙන් උඩට නැගී හිරු රැස් වැටෙනා තුරු කල් බල බලා සිටිනා මෝරාගිය පියුම් පරිද්දෙනි. මේ මිනිස් පොකුණෙහි ස්වාමීනී, සෑම කල්හිම එවන් පද්මයෝ ඇත්තාහුමය. එනිසා ම මුඹ වහන්සේ දහම් දෙසීමට ප‍්‍රථමයෙන් සහම්පතී බඹහු හට මෙසේ වදාළේ මැ නො?
 

අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං

සවන් පත් ඇති නම් යමෙක් හට
දහම් ඇසුමට හොඳින් යොමු කොට
ඔවුන් හැම දෙන ශ‍්‍රද්ධාව මුදත්වා!
ඔවුන් හට ඒ අමා නිවනෙහි ද්වාරයෝ
විවර කොට ලදහ මා විසින්

එමෙන්ම ස්වාමීනී, වාලුකා කතරෙක සිහිල් පැන් පොදක් සොයනා මුවපොව්වන් කැලක් පරිද්දෙන් දිවියෙහි අරුත් සොයමින් අමා පැන් වළඳනු රිසියෙන් දුව ඇවිදිනා ඒ දෙවි මිනිස් කැල ගේ ප‍්‍රඥා සරතැස නිවාලමින් අමා වැසි දහර වස්සවමින් දෙසා වදාළ ඒ සොඳුරු සදහම් ගඟුලැල්ලෙන් නැගී ආ ප‍්‍රඥා පුෂ්කරණියක් වන් සංයුත්ත නිකාය නම් වූ මහා විසිතුරු දහම් රසාකරයක් ද අප සතුව ඇත. එහිලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ප‍්‍රඥා ප‍්‍රබෝධනය කරන්නා වූ සුවිශේෂ දහම් දෙසුම් සත්දහස් හත්සිය හැට දෙකක් ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් සංවර්ණනා කරන ලද අනුබුද්ධ වූ ක්ෂීණාශ‍්‍රව වූ මහා කස්සප මහ රහතන් වහන්සේ වෙත පළමු සංගීතියෙහි දී පැවරුනේ එම සංයුත්ත නිකායයි. බුදු සසුන කෙරෙහි අපමණ ගෞරව ඇති උන්වහන්සේ විසින් ස්වකීය පැවිදි සිසු දරුවන් හට පුහුණු කොට පිරිවහන ලදුව පරම්පරානුයාතව අප අතට පත්වූ ඒ සංයුත්ත නිකායෙහිලා සංයුත්තයන් පනස් දෙකක් තිබේ. ඒ සංයුත් සඟියෙහි වර්ග පසෙකි. එනම් සගාථ වර්ගය, නිදාන වර්ගය, ඛන්ධක වර්ගය, සළායතන වර්ගය, මහා වර්ගය වශයෙනි.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එහි සගාථ වර්ගයෙහිලා ඇතුලත් වන්නේ දෙවි දේවතා සක් බඹ මාර යක් ආදී අනේකවිධ සත්වයන් අරභයා ඔවුන්ගේ බුද්ධි ප‍්‍රබෝධය පිණිස ගාථා වශයෙන් සංයුත්ත එකොළහකින් වදළ අසිරිමත් දෙසුම්ය. නිදාන වර්ගයෙහි ඇතුළත්ව තිබෙන්නේ සංයුත්ත නවයකින් යුතුව විශේෂයෙන්ම ලොවෙහි පවතින ධම්මට්ඨිති ධම්මනියාමය වන මේ හේතුඵල දහම නම් වූ පටිච්ච සමුප්පාද ධර්මය සමුදය නිරෝධ වශයෙන් විස්තර කිරීමයි. ලෝක සත්වයා දේව නිර්මාණ වාදයට හසුවන්නේ ද අහංකාර මමංකාර මානාතිමානයට හසුවන්නේද අහේතුක වාදයට හසුවන්නේ ද උච්ඡේද වාදයට හසුවන්නේ ද අනේකවිධ දෘෂ්ටිජාලයන්ට හසුවන්නේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් අරුත්සුන් යැයි පෙන්වා බැහැර කොට වදාළ අව්‍යාකෘත මතවාදයන්ට හසුවන්නේ ද නානාවිධ සැක සංකාවන්ට හසුවන්නේ ද මේ පටිච්ච සමුප්පාද ධර්මය යථාවබෝධයෙන් නොදැනීම නිසාමය. ඉතින් ස්වාමීනී, පටිච්ච සමුප්පාදයෙන් මේ ජීවිතයෙහි පවතින හේතුඵල ස්වභාවය අවබෝධ වන විට මෙතෙක් කාලයක් අප මුළා වූ ආකාරය ගැන සිතී මේ සිත විලියෙන් මිරිකී යයි. පංච උපදානස්කන්ධ දුක ම මැනවින් ප‍්‍රකට වේ.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, සංයුත්ත දහතුනකින් සමන්විත ඛන්ධක වර්ගය කියැවීමෙන් මේ පංච උපදානස්කන්ධ දුක ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය. ලොවෙහි ඇති සියලු දෙය තමා ගේ වසඟයෙහි නොපැවැත්විය හැකි දේ බවත් අනාත්ම බවත් හේතූන් සැකසෙද්දී සැකසී යන දේ බවත් හේතූන් නිරුද්ධ වෙද්දී නිරුද්ධ වී යන දේ බවත් පැහැදිලිව තේරුම් ගත හැක්කේ මේ දෙසුම් සිත්හි දරාගෙන යෝනිසෝ මනසිකාරයේ යෙදෙන විටය. මේ මායා ස්වරූපී වූ විඤ්ඤාණය පොළොවක පැලවෙන බීජයක් වැනි බවත් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර යන හතර එම පොළොව වැනි බවත් නන්දිරාගය ඒ පැලයත් පොළොවත් තෙත් කරවන ජලය වැනි බවත් පෙන්වා දෙමින් මුඹ වහන්සේ විසින් වදාරන ලද දෙසුම් කියවන විට ජීවිතය පිළිබඳව මුඹ වහන්සේ සතු දැනුම් සම්භාරය ගැන පුදුම නොවී සිටිය හැක්කේ කවරහුට ද? සංයුත්ත නවයකින් යුතු සළායතන සංයුත්තයෙහි ඇති මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය මෙන්ම බාහිර ආයතන හය ද විඤ්ඤාණ හයත් ස්පර්ශ හයත් සය ආකාර වේදනාත් ගැන කියවෙන විස්තර තුළින් ඉතාමත් ගැඹුරු දැනුමක් අපට ලබාගත හැකිය. එමෙන්ම දොළොස් සංයුත්තයකින් ප‍්‍රතිමණ්ඩිත වු මහා වර්ගයෙහි ඉන්ද්‍රිය, බල ආදිය ගැනත් චතුරාර්ය සත්‍යය ගැනත් බොජ්ඣංග ධර්මයන් ගැනත් ආනාපානසතිය තුළින් නිවන් මග දියුණු කිරීම ගැනත් පරිපූර්ණ විස්තරයක් අපට ලබාගත හැකිය. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ දහම් දැනුම තුළින් ජීවිතය ගැන අපට ඇති කරගත හැකි අවබෝධය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. මෙවන් දහමක් අප වෙත ලබාදුන් මහා කාරුණික වූ මහා ප‍්‍රාඥ වූ ති‍්‍රභුවන ආලෝකකර වූ පරම කල්‍යාණ මිත‍්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප විසින් කළගුණ සැළකිය හැක්කේ මුඹ වහන්සේ ගේ සසුනෙහි ම මග ඵල ලැබීම පිණිස මේ අමා දහමෙහි හැසිරෙමින් මේ අමා දහම සැදැහැවතුන් ගේ හදවත් තුළ රෝපණය කිරීමෙන් පමණි.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විසින් ඇතැම් අවස්ථාවන් හිදී වදාරන්නේ ඉතාමත් කෙටි දෙසුම්ය. ඇතැම් දෙසුම් එක වාක්‍යයකින් දෙකකින් සමාප්ත වේ. එවන් ආකාරයකට වදන් පෙළ හැසිරවිය හැක්කේ ඉතා මැනවින් පාලනය කරන ලද වචන ඇති කෙනෙකුට පමණි. සමහර දෙසුම් අවසන් වන්නේ එක් කරුණක් පමණක් පැවසීමෙනි. සංගීතිකාරක රහතුන් විසින් එවැනි එක කරුණ බැගින් වදාළ දෙසුමේ පටන් කරුණු එකොළහක් දක්වා සවිස්තරව වදාළ දෙසුම් තෙක් ඇති සූත‍්‍ර දේශනා නවදහස් පන්සිය පනස් දෙකක් ඇතුළත් කොට කරන ලද මහා ධර්ම මඤ්ජුසාවක් අප හස්තගතව වැඩසිටී. ස්වාමීනී, මෙය හඳුන්වන්නේ අංගුත්තර නිකාය නමිනි. ඒකක නිපාතය, දුක නිපාතය, තික නිපාතය, චතුක්ක නිපාතය, පඤ්චක නිපාතය, ඡුක්ක නිපාතය, සත්තක නිපාතය, අට්ඨක නිපාතය, නවක නිපාතය, දසක නිපාතය, ඒකාදසක නිපාතය වශයෙන් එකොළොස් නිපාතයකින් ප‍්‍රතිමණ්ඩිත වූ මෙහි ඇතුළත් දේශනා වලින් ප‍්‍රකට වන්නේ මුඹ වහන්සේ ගේ අද්විතීය වූ අසාමාන්‍ය වූ අතුල්‍ය වූ අසිරිමත් වූ අද්භූත වූ ආහ්ලාදජනක වූ ආනන්දනීය වූ දේශනා විලාසය යි. ඒ ඒ පුද්ගලයන් ගේ සන්තානගතව පවතින්නා වූ නානාවිධ චරිත ස්වභාවයන් ද ධර්මාවබෝධයෙහිලා ඒ ඒ පුද්ගලයන් තුළ පවතින්නා වූ දුබලතා හා කුසලතා ද මෙහි මැනැවින් දේශිතය. එමෙන්ම අංක වශයෙන් ගෙන සිත්හිලා දරාගත යුතු විවිධ දහම් නය මෙහි මැනැවින් දේශිතය. එමෙන්ම ඒ අමා නිවන අවබෝධ කරගත් රහතන් වහන්සේලා සඤ්ඤා රහිතව නොව සඤ්ඤා සහිතව ම ඒ අරහත් ඵලය ඵල සමාපත්තියක් වශයෙන් භුක්ති විඳින ආකාරය දැක්වෙන දෙසුම් ඇතුළත් එකොළොස්වන නිපාතය කියවන විට අප හදටත් ලොව්තුරු සුවඳ දැනේ ම ය.
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඛුද්දක නිකාය නම් වූ තවත් ධර්ම මංජුසාවක් ද අප සතුව තිබේ. එහි ඛුද්දක පාඨ නමින් ඉතා වටිනා දෙසුම් කිහිපයක් අපට ලැබී ඇත. එමෙන්ම මුඹ වහන්සේ විසින් යම් යම් කරුණු අරභයා කුරවි කෙවිල්ලකගේ මිහිරි නද පරදවන, වහා අරුත් රස වැගිරෙන, මිහිරි රසයෙන් කැටිවෙන, සොඳුරු නින්නාද ඇතිවෙන වදන් තුළ හඬ මුසුවන, අට්ඨංග සමන්නාගත බ‍්‍රහ්ම ස්වරයෙන් යුතුව කන්කළු හඬින් වදාරන ලද මිහිරි ගාථාවන් හාරසිය විසි තුනක් ඇතුළත්ව වර්ග විසි හයකින් සමලංකෘත වූ ධම්ම පදය නම් වූ සිංහ තෙලක් අපගේ හදවත් රන් බඳුනෙහි ඇත.

එමෙන්ම ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප හට නම් යම්කිසි සතුටක් හෝ දුකක් හෝ ඇති වූ කල්හි අප මුවෙන් ගිලිහෙන්නේ අරුත් සුන් වදන් ය. ඇතැම් විට නොමනා අසැබි වදන්ය. එහෙත් මනාකොට රැහැන් පට අතින් ගෙන ආජානීය අශ්වයන් සය දෙනෙකුන් මැනැවින් හසුරුවන්නා වූ කෘතහස්ත වූ රථාචාර්යයෙකු පරිද්දෙන් ස්වකීය ඉඳුරන් සිහිය නමැති රැහැන් පටින් හසුරුවමින් සිත කය වචනය රක්ෂිත ව ගෝපිත ව වැඩ සිටින මුඹ වහන්සේ ද යම් යම් ආනන්දනීය අවස්ථාවන්හිදීත් සංවේදනීය අවස්ථාවන්ට මුහුණ දුන් කල්හිත් මුඹ වහන්සේ ගේ මුවින් ගිලිහෙන්නේ අත්‍යුදාර වූ උදාන ගාථාවන් ය. පිරිපුන් දහම් දෙසුමක රසරුත් එයින් මතු වී අප හද ද අමා දහම් උදානයෙන් ඔකඳ වන්නේ ඒ උදානයන් කියවද්දී ය.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඉතිවුත්තක පාළියෙහි ද තිබෙන්නේ ඒ පරම පාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මය යි. එමෙන්ම සුත්ත නිපාතයෙහි ද ඇතුළත් අට්ඨක පාරායන ආදී දහම් කොටස් කියවද්දී උසුලාගත නොහැකි සතුටින් නෙතගින් කඳුළු ධාරා ඇද හැලේ. එමෙන්ම ස්වාමීනී, මුඹ වහන්සේ ගේ ළයෙහි උපන් ඖරස පුත‍්‍ර වූ ඒ රහතන් වහන්සේලාත් මුඹ වහන්සේ ගේ ළයෙහි උපන් ඖරස දුහිතෘ වූ රහත් භික්ෂුණීන් වහන්සේලාත් ඒ නිකෙලෙස් සිතින් යුතුව ම තම තමන්ගේ චරිත ස්වභාවයන් විදහා දක්වමින් වදාරන ලද්දා වූ මනහර ගාථා පන්තීන් ගෙන් සමන්විත වූ ථේර ථේරී ගාථා ද අප සතුව ඇත. එමෙන්ම ස්වාමීනී, මිසදිටු පවිටු සිතින් පව් කළවුන් පේ‍්‍රතව ඉපිද දුක් විඳින පේ‍්‍රතයින්ගේ කතා වස්තුත් සම්දිටු පහන් සිතින් පින් කළවුන් දෙව්ලොව ඉපිද සැප විඳින දෙවියන් පිළිබඳව විමාන කතා වස්තුත් අප සතුව ඇත. අප මේ සියල්ල ලදුයේ මුඹ වහන්සේ නිසා ම ය.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ ගේ පැවිදි ශ‍්‍රාවක ජනයා මනාකොට නිවන් මගෙහි හික්මවාලීම පිණිස පුරිස දම්ම සාරථී වූ මුඹ වහන්සේ විසින් පණවා වදාරන ලද්දා වූ ආදි බ‍්‍රහ්මචරියක ශික්ෂා පදත් ආභිසමාචාරික ශික්ෂාපදත් ඇතුළත් කොට පළමු සංගීතියෙහි දී සංග‍්‍රහ කරන ලද ඒ උතුම් විනය පාරාජිකා පාළි, පාචිත්තිය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි වශයෙන් අප සතුව තිබේ. මුඹ වහන්සේ විසින් අනාගතංස ඥානයෙන් යුතුව වදාරන ලද්දා වූ ඒ විනය සිඛපදයන් වර්තමානයෙහි පවා භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කරන්නේ නම් ඒකාන්තයෙන් ම එහිලා නොපැහැදුනු අය පහදිනු ඇත. පැහැදී සිටින අය වඩ වඩාත් පැහැදෙනු ඇත. සංඝයාට පහසුවෙන් වැඩ සිටීමටත්, පහසුවෙන් යැපීමටත්, සුපේශල සිල්වත් භික්ෂූන් ගේ පහසුව පිණිසත් දුසිලුන් විලියෙන් මිරිකී සුසිලුන් වීම පිණිසත් ඒකාන්තයෙන් ම හේතුවනු නිසැකය.

ඉතින් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දැනට නම් ලක්දිව කිව හැකි තරම් සතුටුදායක තත්ත්වයක් නැතිමුත් තථාගතප‍්‍රවිදිත ධර්ම විනය වඩ වඩාත් විවෘත වුවහොත් අනාගත බුදු සසුන බබළනු නිසැකය. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මෙකල අධර්මවාදීහු අවිනයවාදීහු ඉතා බලවත්යහ. ඔවුහූ රාජ බලයත් සමාජ බලයත් ඩැහැගෙන සිටිති. බොහෝ ජනතාව සද්ධර්මයෙන් ඉවත් කොට අසද්ධර්මයෙහි පිහිටුවති. ඔවුහු මගඵලලාභී ශ‍්‍රාවකයින් බිහිවනු නොකැමැත්තෝය. එමෙන්ම ස්වාමීනී, ධර්මවාදීහු විනයවාදීහු දුබලව සිටිති. අධර්මය අවිනය ඉදිරියෙහි වැටහීම් රහිතව කරබාගෙන සිටිති. එය ගෞතම බුදු සසුන අතුරුදහන් වීමට මගපාදන කරුණකි. එහෙත් ස්වාමීනී බලවත් දුෂ්කරතා මැද වුවද අපි නම් ඉතා දැඩි ලෙස මෙසේ සිතමු. අපගේ ශාස්තෘන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ම ය. අපි වනාහී ශ‍්‍රාවකයෝ වෙමු. අප ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ම දන්නා සේක. අපි වනාහි නොදනිමු.

එහෙයින් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඉතා දුර සිට නමුත් මුඹ වහන්සේ ගේ සිරිපා කමල් අබියස ඇති ඒ පාදුහුවිලි අප සිරසෙහි තැවරෙන පරිද්දෙන් වන්දනා කිරීමට අවසර දුන මැන. මුඹ වහන්සේ ගේ ඒ සක් ලකුණින් යුතු වූ පියුම් පැහැයෙන් බබළන පතුල් ඇති ඔය සිරිපතුල් යුගල දිගුකළ මැනව. ඉතා දුර සිට නමුත් අප මුළු හදවතින් ම වන්දනා කරන්නෙමු.

සාදු…! සාදු…! සාදු…!

මෙයට,
මුඹ වහන්සේ ගේ බුදු සසුන තුළ ම පිළිසරණ පතන,
භික්ෂු ඤාණානන්ද.

ශ්‍රී බුද්ධ වර්ෂ 2549 මහමෙව්නාවේ වෙසක් කලාපයේ පළ වූ ලිපියකි.