පින්වතුනේ, පින්වත් දරුවනේ,

මෙම කථාවෙහි සඳහන් වෙන්නෙ ඉතාමත් සංවේගජනක සිදුවීමක්. වැරදි ලෙස යෙදවූ විට මේ හිතේ ස්වභාවය මොනතරම් අස්වාභාවික තත්වයන්ට පත්වෙනවාද, එය ජීවිතයට මොන තරම් බලපානවාද කියන එකට මෙම කථාව හොඳම නිදසුනක්. අනවශ්‍ය දේවල් සිතීමේ භයානකකම මෙම කථාව තුළින් හොඳින් පේනවා. මෙම කථාව කියවන විට සිතට භයකුත් ඇතිවෙනවා. මේ සිත මෙතරම්ම දරුණුද කියලා පුදුමත් හිතෙනවා. හැබැයි එ් සිතම යහපතට යෙද වූ විට ශ්‍රේෂ්ඨත්වයට පත්වන ආකාරය බලන විට එ් ගැනත් පුදුමයි.

සෝරෙය්‍ය කියලා නගරයක් තිබුනා. මේ නගරයේ සෝරෙය්‍ය නමින්ම තරුණ සිටුවරයෙක් සිටියා. ඔහු විවාහකයි. දරු දෙදෙනෙකුගේ පියෙක්. දිනක් මේ සෝරෙය්‍ය සිටුවරයා යහළුවෙකු සමඟ වතුර නෑම පිණිස පිටත් වුණා. එ් යන අතරමගදී අතිශයින්ම සෝභා සම්පන්න රන්වන් ශරීරයක් තියෙන භික්ෂූන් වහන්සේ නමක් දැක්කා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම මහාකච්චායන රහතන් වහන්සේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව සෝරෙය්‍ය සිටුතුමා දන්නෙ නැහැ. සෝරෙය්‍ය සිටුතුමා මහා කච්චාන රහතන් වහන්සේගේ මනමෝහනීය රූප විලාශය දැකීමෙන් වශී වෙලා ගියා. ඇස් දෙක දල්වාගෙන, ඇස් පිය නොහෙළා බලාගෙන හිටියා. හැබැයි, උන්වහන්සේ දෙස බලාගෙන සිටිද්දී මොහුට ශ‍්‍රද්ධාව ඇතිවුණේ නැහැ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වුනේ. මොහු තුළ රාගය ඇති වුනා. ඉතාම පවිටු සිතුවිලි සිතෙන්න පටන් ගත්තා.

‘ෂා…. පුදුමාකාර ලස්සනක්…. රත්තරන් පාටයි…. අතපය වාත්තු කළා වගෙයි. මුහුණ බබලනවා. ඇස් දෙක නිල් පාටයි. පුදුමාකාර ලස්සනක්…. මනමෝහනීය රූප සෝභාවෙන් යුතු මේ තැනැත්තා වගේ කෙනෙක් තමයි මගේ බිරිඳ වෙන්න තිබුණේ. එහෙම නැත්නම් මගේ බිරිඳට තමයි මෙච්චර ලස්සන රූපයක් ලැබෙන්න තිබුණේ.’

මේ සෝරෙය්‍ය සිටුවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ දෙස එක හුස්මට බලාගෙන හිටියා. ලාමක පවිටු සිතුවිලි වේගයෙන් ඇතිවුණා. මහා කච්චායන මහරහතන් වහන්සේ බිමට නැඹුරු වූ නෙතින් යුතුව ශාන්ත ගමනින් වැඩම කළා. සෝරෙය්‍ය සිටුවරයාගේ සිත කැළඹිලා ගියා. ඔහු කැළඹුණු සිතින් යුතුව එ් ගැනම සිතන්නට පටන් ගත්තා. එයම සිතින් සිත සිතා සිටිද්දී තමාගේ සිරුරට කුමක්දෝ මහා අමුත්තක් සිදුවෙනවා තේරුණා. මහා වෙනසක් සිදුවෙනවා තේරුණා. පුරුෂයෙකු වශයෙන් ඔහු තුළ තිබූ කායික ලක්ෂණ මොහොතකින් අතුරුදහන් වෙලා ගියා. සම්පූර්ණයෙන්ම කාන්තාවක් තුළ ඇති සියලූ කායික ලක්ෂණ පහළ වුණා. තමා තුළ මේ ඇති වුන වෙනස සෝරෙය්‍ය සිටුවරයා තුළ මහත් කම්පනයක් ඇති කළා. ඔහු කලබල වුණා. තමන් දිහා බැලූවා. තමන්ව තමන්ටම වෙනස්ව පේනවා.

‘අයියෝ….! මොකක්ද මේ වුනේ…? අනේ… මං දැන් මොකද කරන්නේ…? මේ මං තවදුරටත් පිරිමි කෙනෙක් නෙවෙයි නෙව. මං ස්ත‍්‍රියක් වුණා. මොකක්ද මේ වුනේ…? මං කොහොමද මේ සමාජයට මුහුණ දෙන්නේ? මං කොහොමද ගෙදර යන්නේ..? දරුවන් ගේ මුහුණ බලන්නේ කොහොමද? බිරිඳගේ මුහුණ බලන්නේ කොහොමද? අයියෝ….! මං දැන් මොකද කරන්නේ…?’

ඔහුට සිතාගන්නට බැහැ. ඔහු මහත් අසහනයට පත්වුණා. දැන් ඔහු පිරිමියෙක් නොවෙයි ගැහැණියක්. නාන්නට ගිය ගමන කෙළවර වුණේ පුදුමාකාර ශරීර පරිවර්තනයකින්. සෝරෙය්‍ය සිටුතුමා වෙනුවට දැන් සිටින්නේ සෝරෙය්‍ය කුමරියක්. ඇය නාන්නට ගියේ නෑ. එතැනින්ම කිසිවෙකුට හඳුනාගත නොහැකි පරිදි පැන ගියා. ඈත ජනපදයකට ගියා. එහිදී ඇයට සිටුවරයෙකු මුණගැහුණා. ඔහු සමඟ විවාහ වුණා. ඔහු නිසා දරු දෙදෙනෙකුත් ලැබුණා. හරිම පුදුමයි. පිරිමියෙක් වෙලා සිටිද්දී දරු දෙදෙනෙකුගේ පියෙක්. ගැහැණියක් වෙලා සිටිද්දී දරු දෙදෙනෙකුගේ මවක්. මෙතුමිය තමන්ගේ සිරුරේ වෙනස්වීම සිදුවූදා සිට අප‍්‍රමාණ මානසික පීඩා වින්ඳා. මම මෙයින් නිදහස් වෙන්නේ කවදාද කියා ඇඟිලි ගනිමින් සිටියා. දිනක් මෙතුමිය තම ස්වාමි පුරුෂයාට හඬ හඬා සත්‍ය සිද්ධිය කියා සිටියා. ඔහු තුළ මේ තැනැත්තිය කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිවුණා. මැයට පිහිට වෙන්නට ඕන කියා තදින් සිතට ගත්තා. මහා කච්චාන මහරහතන් වහන්සේ වැඩසිටිනා තැන විපරම් කර කර බැලූවා. අන්තිමේදී උන්වහන්සේ සිටින තැන ආරංචි වුණා. මෙතුමිය උන්වහන්සේ ළඟට ගෙන ගියා.

මහත් වේදනාවෙන් යුතුව හඬ හඬා තමන් එදා සිතූ අකුසල් සිතුවිලි ගැන සමාව ඉල්ලා සිටියා. නැවත කිසි දින එවැනි පවිටු දේවල් නොසිතන බවට පොරොන්දු වුනා. මේ ගැන කිසිත් නොදැන සිටි මහා කච්චාන මහරහතන් වහන්සේ තුළ මහත් සංවේගයක් හටගත්තා. දයානුකම්පාවක් හටගත්තා. කරුණාබර සිතින් යුතුව මෙතුමියට සමාව දුන්නා. එ් මොහොතේදීත් එදා අකුසල් සිතුවිලි සිතූ වේලෙහි කයෙහි සිදු වූ පරිවර්තනය වැනි යමක් තමා තුළ සිදුවෙන බව ඇයට තේරුණා. මොහොතකින් පිරිමියෙක් වුණා. නැවතත් පිරිමිබව ලැබීම ගැන සෝරෙය්‍ය සිටුවරයා අප‍්‍රමාණ සතුටට පත්වුණා.

“අනේ ස්වාමීනී, මට නැවතත් කොහේවත් යන්න බැහැ. මේ මායාකාරී සිතට රැවටිලා මේ සිතට වසඟ වෙලා මා අත්විඳි දුක් හොඳටෝම ඇති. මට මේ සියල්ලෙන් නිදහසක් ලබන්නට ඕන. අනේ ස්වාමීනී, මාව පැවිදි කරන සේක්වා…!”

මහා කච්චායන මහරහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් යුතුව මෙතුමාව පැවිදි කළා. උතුම් සීලයේ පිහිටා සිටි සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානය වඩන්නට පටන් ගත්තා. මෙම ස්වාමීන් වහන්සේගේ සිරුර තුළ සිදු වූ විපර්යාසය අසා බොහෝ දෙනා පුදුම වුණා. සමහරුන් උන්වහන්සේගෙන් විවිධ ප‍්‍රශ්න අසන්නට පටන් ගත්තා.

“පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට ගිහි කාලෙ පියෙකු වශයෙන් සිටියදී දරු දෙදෙනෙක් සිටියා. මවක වශයෙන් සිටියදීත් දරු දෙදෙනෙක් සිටියා. මේ දරුවන්ගෙන් ඔබවහන්සේ වඩාත් ආදරේ කාටද?”

එතකොට සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ ඉතා අහිංසක විදිහට පිළිතුරු දුන්නා.

“ඇත්තෙන්ම මා තුළ වඩාත් ම ආදරේ තිබෙන්නේ මවක වශයෙන් සිටිද්දී ලැබූ දරුවන් ගැනයි.”

සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ මහත් උත්සාහයෙන් ධර්ම මාර්ගය දියුණු කළා. චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. එ් බව නොදත් සමහරුන් උන්වහන්සේගෙන් එ් පරණ ප‍්‍රශ්නයම අහන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ පිළිතුරු දුන්නේ ආදරය කරන සියලු දෙයින්ම තමන් නිදහස් වූ බවයි. එ් නිසා තමන් තුළ අමුතු විශේෂ ආදරයක් කිසිවෙකු ගැන හෝ ඇති නොවන බවයි.

මෙම ස්වාමීන් වහන්සේගේ සංවේගජනක ජීවිත කථාව අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වාපි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ

නොහැක කිසිවිට මව්පියන් හට – තම සිතෙහි ගුණදම් වඩන්නට
එලෙසින්ම නෑයන් ද කිසිවිට – නොඑති තම සිත සුරැක දෙන්නට
දහම තුළ පිහිටුවා ගෙන සිත – මනා කොට පුහුණුව ලබන විට
ගුණ පිරුණු එ් සිත තුළින් ඔහු – ලොවෙහි උතුමෙකු බවට පත් වෙයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ සිත කිලිටි වුණොත් එය පිරිසිදු කරදෙන්නට අම්මාට හෝ තාත්තාට පුළුවන්කමක් නැහැ. අපගේ සිතේ අකුසල් හටගත්තොත් වෙන නෑදෑයෙක්වත් ඇවිදින් එ් අකුසල් දුරුකරවා දෙන්නෙ නැහැ. අකුසල් වලින් සිත මුදවා ගැනීම කළ යුත්තේ තමන්ගේ උත්සාහයෙන්මයි. කුසල් පිහිටුවා ගත යුත්තේත් තමන්ගේ උත්සාහයෙන්මයි. බුදුරජාණන් වහන්සේ විසින් තමාව පිහිට කරගන්න කියා දේශනා කොට වදාරණ ලද්දේ එ් නිසාමයි.

අපේ සිතේ අකුසල් හටගෙන එ් අකුසල් හේතුවෙන් අපගේ සිත, කය, වචනය යන තුන්දොරින් පව් රැස්වුණොත් විපාක විඳින්නට වෙන්නෙත් අපටමයි. එ් අකුසල් විපාක විඳින්න වෙන්නෙත් නිරයේ ඉපදිලා. එහෙම නැත්නම් තිරිසන් යෝනියේ ඉපදිලා. එහෙමත් නැත්නම් පේ‍්‍රතයෙක් වෙලා. ඉතින් අපි මරණයට පත් වෙලා අපායේ ඉපදුණොත් අපගේ දෙමව්පියන්ට හෝ ඤාතීන්ට හෝ කවදාවත් එ්කෙන් අපව බේරගන්නට පුළුවන් කමක් ලැබෙන්නෙ නැහැ. අප මියගියාට පසු කොහේ ගිහින් උපදිනවාද කියා බලන්න කවුරුවත් අපේ පස්සෙන් එන්නෙ නැහැ. කර්මානුරූපවයි අපි උපතක් කරා යන්නෙ.

අපි සිත රැකගත්තොත් මනාකොට ධර්මය තුළ පිහිටුවා ගත්තොත් අපට සිත, කය, වචනය යන තුන්දොරින් පින් රැස්කිරීමේ අවස්ථාව උදාවෙනවා. එතකොට මරණින් මතු අපට සුගතියේ ඉපදීමේ වාසනාව උදාවෙනවා. එය කරලා දෙන්නේ දෙමව්පියන් හෝ ඤාතීන් හෝ නොවෙයි. අපගේ සිත තුළ රැස්වෙන පින විසිනුයි. එනිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ ජීවිතයේ යහපත් බව අප විසින් සිතාමතාම ඇති කරගත යුතුයි.[/fusion_text]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ