පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කිරීම නිසා බොහෝ දෙනෙකුට මහත් යහපතක් සැලසුනා. තරුණ මහළු කවුරුත් ජීවිතාවබෝධය කිරීමේ කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුනා. ඒ කාලයෙහි පැවිදි වුන කවුරුත් පාහේ තම ආචාර්ය ස්වාමීන් වහන්සේලා යටතෙහි ධර්මය ඉගෙන ගත යුතුයි. ඒ ධර්මය ඉගෙන ගන්නා ක්‍රමය ඉතාමත් පැහැදිලි ලෙස බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළා.

ඒ කාලයේ පළමුවෙන්ම කරන්නේ සද්ධර්ම ශ‍්‍රවණයයි. පොත්පත්වල ලියවීමක් තිබුනේ නැහැ. ඒ කාලයේ සිටිය මිනිසුන් හොඳට අකුරු දන්නවා. ලිපි ලියනවා. වෙන පොත්පත් තියෙනවා. නමුත් ධර්ම ගෞරවය නිසාම පුරුදු කළේ කටපාඩමින් දරාගෙන සිටීමමයි. ඒ නිසා සවන් දීමට ලොකු තැනක් තිබුනා. එය බොහෝ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, හොඳින් සවන් යොමා අසන්න. කියා දෙන්නම්” වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින්ම ධර්මය අසන කෙනාගේ සැළකිල්ල ඒ අසන දෙයට යොමු කිරීම පිණිස පවසා වදාළ තැන් හමුවෙනවා. ධර්මය ඇසීමෙන් ලත් දැනුමට කියන්නේ ‘සුත’ කියලායි. එය ධර්මය ඉගෙනීමෙහි පළමු පියවරයි. ‘සුතා’ කියලා සඳහන් වන්නේ එයයි.

දෙවෙනි කරුණ ඒ විදිහට සවන් දුන්න ධර්මය මතක තබාගත යුතුයි. එයට කියන්නේ ධාරණය කර ගැනීම කියලයි. එය හඳුන්වන්නේ ‘ධතා’ වශයෙනුයි. ඒ කාලයේ සිටි බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර නිතර ධර්මය ඇසුවා. මතක තබාගත්තා.

මතක තබාගත් ධර්මය අමතක නොවීමට නම් වචනයෙන් පුරුදු කළ යුතුයි. වචනයෙන් පුරුදු නොකළොත් කලක් යන විට අමතක වෙලා යනවා. ඒ නිසා ඒ උතුම් බුද්ධ දේශනා වචනයෙන් පුරුදු කිරීම ධර්මය ඉගෙන ගන්නා කවුරුත් ඉතාම කැමැත්තෙන් පුරුදු වුනා. එය හඳුන්වන්නේ ‘වචසා පරිචිතා’ කියලයි.

ඒ විදිහට වචනයෙන් පුරුදු කරන ලද ධර්මය නිතර නිතර අර්ථ වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුයි. එහි තේරුම විමස විමසා බැලිය යුතුයි. එය භාවනාවක් වැනි දෙයක්. බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස නුවණින් විමස විමසා බලනවා. එය හඳුන්වන්නේ ‘මනසානුපෙක්ඛිතා’ කියලයි.

තමන් ඉගෙනගත් ධර්මය හොඳට නුවණින් විමසන කොට ටිකෙන් ටික අවබෝධ වෙනවා. එතකොට ඒ කෙනාට ඒ ධර්මය ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. අතරමං වෙන්නේ නැහැ. මේක මොකක්ද කිය කියා කලබල වෙන්නේ නැහැ. ඒ තේරුම තුළ එයා සෘජුව ඉන්නවා. ඒකට කියන්නේ ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ කියලයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, කට පාඩමින් දරාගත යුතු ධර්මය ඔය තරම් පැහැදිලි ලෙස උගන්වන ක්‍රමයක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. එතකොට ඒ රහතන් වහන්සේලා ධර්මය ප්‍රගුණ කරපු ආකාරය මොනතරම් සාර්ථකද කියල ඔබට වැටහෙනවා ඇති. ඔය විදිහට ධර්මය උගන්නද්දී උන්වහන්සේලා ඒ ධර්මය සැදැහැවතුන්ට දේශනා කළා. උතුම් බුදු බණ ඇසු බොහෝ දෙනෙක් මහත් සතුටට පත් වුනා. සැවැත් නුවර වාසය කළ යහළුවන් දෙදෙනෙකුට බණ අසන්නට ලැබුනා. ධර්මය ඇසීමෙන් පසු ඒ දෙදෙනාම පැවිදි වෙන්න තීරණය කළා. පැවිදි වෙලා කලින් කියූ ආකාරයෙන් ඒ දෙදෙනාම ධර්මය ඉගෙන ගත්තා.

එක ස්වාමීන් වහන්සේ නමක් තරමක් වයසයි. අනෙක් ස්වාමීන් වහන්සේ තරුණ කෙනෙක්. ඉතින් අර වයසක ස්වාමීන් වහන්සේ මෙහෙම කල්පනා කළා. “මම මහණ වුනේ වයසට ගිහිල්ලයි. ඇත්තෙන්ම මට ධර්මය ඉගෙනගන්න ආසා නමුත් පාඩම් හිටිනවා අඩුයි. ඒ වුනාට මට හොඳට භාවනා කරන්න පුළුවන්, අනෙක් තරුණ ස්වාමීන් වහන්සේලා ධර්මය ඉගෙන ගන්නා නිසා මං භාවනාවට වැඩිපුර කාලය ගත කිරීම ගැන ආචාර්ය ස්වාමීන් වහන්සේ අසතුටු වෙන එකක් නැහැ” කියලා මේ ස්වාමීන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේගෙන් අවසර අරගෙන දිගටම භාවනා කළා. රහතන් වහන්සේලාත් මේ ස්වාමීන් වහන්සේට භාවනාව දියුණු කරගන්නා ආකාරය කියල දුන්නා. වැඩිය පාඩම් නොසිටින නිසා ධර්මය ඉගෙන ගැනීම මඟහැරුනා. වැඩිය බණ කියන්නත් අමාරුයි. ගොඩක් දන්නෙත් නැහැ. නමුත් දන්නා ධර්මය ගැන පුදුමාකාර අවබෝධයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ සුළු කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුනා.

අනෙක් යහළු ස්වාමීන් වහන්සේ එතරම් වයසක කෙනෙක් නොවෙයි. හොඳට පාඩම් හිටිනවා. ලස්සනට කියන්නත් පුළුවනි. කලක් යන කොට උතුම් බුද්ධ දේශනා රාශියක් කට පාඩමින් කියන්න පුළුවන් වුනා. මේ ස්වාමීන් වහන්සේ මේ ගැන සතුටු වෙවී හිටියා මිසක් භාවනාවට උනන්දුවක් දැක්වූවේ නැහැ. අන්තිමේදී මේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඉගෙන ගැනීමට බොහෝ පිරිස් එන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික ප්‍රසිද්ධ වුනා. ඒ ප්‍රසිද්ධියත් සමගම ඒ ස්වාමීන් වහන්සේ ආඩම්බර වුනා. පිරිස් පිරිවරාගෙන සතුටු වුනා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසන බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කරගත්තා.

කලක් ගතවෙන විට අර වයසක ස්වාමීන් වහන්සේ ළඟට පැමිණි ඇතැම් ස්වාමීන් වහන්සේලා හොඳට භාවනාව ප්‍රගුණ කරගෙන රහතන් වහන්සේලා බවට පත් වුනා. අර ධර්ම කථික ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා පවා මේ ස්වාමීන් වහන්සේ ළඟට වඩිනවා. භාවනාව ඉගෙන ගන්නවා. ඒ වයසක ස්වාමීන් වහන්සේත් තමන්ගේ යහළු ධර්ම කථික ස්වාමීන් වහන්සේට බොහෝ ප්‍රශංසා කරනවා. දහම් කරුණු මතක තබාගැනීමේ හැකියාව අගය කරනවා. නමුත් ධර්ම කථික ස්වාමීන් වහන්සේ සිත දියුණු නොකළ කෙනෙක් නිසා තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට කැමැති වුනේ නැහැ. සතර සතිපට්ඨානය දියුණු නොකළ නිසා තමන්ගේ සිත ගැන අවබෝධයක් තිබුනේ නැහැ. හිතේ ස්වාභාවය ගැන අනුන්ට බණ කිව්වා මිසක් තමන් අනුගමනය කළේ නැහැ.

දිනක් අර වයසක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව බැහැදැකීමට ජේතවනාරාමයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේව වැඳපුදාගෙන සතුටු වුනා. ඊටපස්සේ කලකින් නොදැක්ක අර ධර්මකථික යහළු ස්වාමීන් වහන්සේව බැහැදකින්න උන්වහන්සේ සිටි තැනට වැඩියා. එතකොට ඒ ධර්මකථික ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන ධර්මය උගන්වමින් සිටියා. මේ වයසක ස්වාමීන් වහන්සේව දුටු ගමන් ධර්මය ඉගෙන ගනිමින් සිටි ස්වාමීන් වහන්සේලාට මහත් සතුටක් ඇති වුනා.

< උන්වහන්සේ වයසක නමුත් ඉතාමත් ප්‍රසන්නයි. ඉතාමත් ශාන්තයි. ගමන් විලාශය ඉතාම සංසුන්. කතාබහත් ඉතාමත්ම සංවරයි. අහගෙන ඉන්න ආසයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේව අර ස්වාමීන් වහන්සේලා වටකර ගත්තා. අදරයෙන් වන්දනා කළා. තොරතුරු අහන්න පටන් ගත්තා. ධර්මකථික ස්වාමීන් වහන්සේට මේ ගැන සතුටක් ඇති වුනේ නැහැ. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. ”මේ ආයුෂ්මතුන් වයසට ගිහින් මහණ වුනේ. හරියකට බණක් කියා ගන්නවත් බැහැ. පාඩම් හිටින්නෙත් නැහැ. ඉතින් භාවනා කළා කියලා හොඳට ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් ඒකෙන් අනුන්ට කිසි ලාභයක් නැහැ නෙව. මං මේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ගැන පටලැවෙන ආකාරයට ප්‍රශ්න අසන්න ඕන. පිළිතුරු දී ගන්න බැරිව යන කොට අනෙක් අයට තේරේවි” මේ විදිහට හිත හිත හිටියා.

මේ ධර්මකථික ස්වාමීන් වහන්සේ තම යහළු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කාරණය හොඳට දන්නවා. බැරිවෙලාවත් ධර්මකථික ස්වාමීන් වහන්සේ අර වයසක ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු දෙන්න බැරි ආකාරයට ප්‍රශ්න ඇසුවොත් අප ධර්මකථික ස්වාමීන් වහන්සේට ඒ භික්ෂුව හෙළාදැක කතාකිරීමට අවස්ථාවක් ලැබෙනවා. එතකොට මෙතරම් ධර්මය ඉගෙන ගෙනත් ආර්ය උපවාද කොට තමන්ට ධර්මය අවබෝධ කරන අවස්ථාව අහිමි කරගන්නවා. ඉතින් මේ ධර්මකථික භික්ෂුව ඔය විපතින් බේරා ගන්න ඕන යන කරුණාව බුදුරජාණන් වහන්සේ තුළ ඇති වුනා.

උන්වහන්සේ ඒ වෙලාවේ එතැනට වැඩම කළා. පණවන ලද ආසනයේ වැඩහිටියා. බුදුරජාණන් වහන්සේ අර වයසක ස්වාමීන් වහන්සේගෙන් පිරිස මැද තොරතුරු අහන්න පටන් ගත්තා.

“ඉතින් පින්වත් භික්ෂුව, එහෙ ගත කරන කාලෙදි හොඳට භාවනා කරගන්න ඇති නේද?”

“එහෙමයි ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ලැබුනා. මං හොඳට භාවනා කළා. හැම තිස්සේම සිහියෙන්මයි හිටියේ.”

“ඉතින් පින්වත් භික්ෂුව, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තාද?”

“එහෙමයි ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අහස කරත්තයක් එළවන රියැදුරෙක් රැහැන් පොට අතින් අල්ලාගෙන ඒ අශ්වයන්ව වුවමනා මාර්ගයේ යොදවනවා වගේ මං ඉඳුරන් සංවර කරගත්තා. ස්වාමීනී, මං හිත කැළඹෙන දේවල් දිහා බැලුවේ නැහැ. ධර්මාවබෝධයට බාධා වන කිසිම දෙයකට ඇහුම්කන් දුන්නේ නැහැ. නාසයට දැනෙන දේවල් පස්සේ ගියේ නැහැ. පිණ්ඩපාතෙ වඩිද්දී ලැබෙන දානය ගැන මං කල්පනා කර කර හිටියෙ නැහැ. කුසගිනි නිවා ගැනීමට භාවනාව දියුණු කරගැනීමට උපකාර වීම පිණිසමයි මං දානෙ ගත්තේ. සීතල උණුසුම් වුනත් මං ගණන් ගත්තෙ නැහැ. ස්වාමීනී මං හිත ගැන හරිම කල්පනාවෙන් හිටියා.”

“පින්වත් භික්ෂුව, බොහෝම හොඳයි. බොහෝම හොඳයි. ඉතින් පංච නීවරණ යටපත් කරගෙන උත්සාහයෙන් යුතුව සමාධිය දියුණු කරගන්න ලැබුනාද?”

“එහෙමයි ස්වාමීනී, භාග්‍යනතුන් වහන්ස, මං හොඳට සමාධිය දියුණු කළා. පළමු වෙනි ධ්‍යානය දියුණු කළා. දෙවැනි ධ්‍යානය දියුණු කළා. තුන්වෙනි ධ්‍යානය දියුණු කළා. හතරවෙනි ධ්‍යානය දියුණු කළා.”

“පින්වත් භික්ෂුව, බොහෝම හොඳයි. අෂ්ට සමාපත්ති දක්වා සිත දියුණු කළේ නැද්ද?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං ඒකත් කළා.”

“පින්වත් භික්ෂුව, බොහෝම හොඳයි. එතකොට රාග, ද්වේෂ, මෝහ සිතෙන් ඉවත් කරලා ඒ සියල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වුනාද?”

“එහෙමයි භාග්‍යවතුන් වහන්ස, මටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරගන්නා පුළුවන් වුනා. රාග, ද්වේෂ, මෝහවලින් නිදහස් වෙන්න පුළුවන් වුනා. මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතෙර වෙන්න පුළුවන් වුනා.”

“සාදු! සාදු! පින්වත් භික්ෂුව, මාගේ ශ‍්‍රාවකයන් මෙහෙම තමයි. සසර දුකින් මිදීම ඉලක්ක කරගෙනමයි ධර්මයේ හැසිරෙන්නේ” කියලා බුදුරජාණන් වහන්සේ අර ධර්මකථික භික්ෂුව දෙස බැලුවා.

ධර්මකථික භික්ෂුව බිම බලාගෙන හිටියා. කලින් තිබුණු ආනුභාවය නැතුව ගියා. ධර්මය ලෝකයට කිය කියා හිටියට මදි. තමා අවබෝධ කරගැනීම පිණිස ඒ ධර්මයේ හැසිරෙන්න ඕනමයි. බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට ගාථා දෙකකින් එකරුණ පෙන්වා වදාළා.

බහුම්පි වේ සහිතං භාසමානෝ
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝව ගාවෝ ගණයං පරේසං
න භාගවා සමඤ්ඤස්ස හෝති

ලෝකෙට බණ කියන කෙනා – ඒ බණ පිළිනොපදින විට
ප්‍රමාද වූ කෙනෙක් ලෙසට – හඳුනාගත යුතුයි එයා
අනුන්ගෙ ගව රැල බලනා – ගොපල්ලෙකුට එහි කිසිදා
පස්ගෝ රස ඉන් ලබනා – නොලැබෙන්නේමය කිසිදා
ඒ අයුරින් බණ කියනා – ගොපල්ලෙක් ලෙසින් සිටිනා
ඔහු හට හිමි නැත කිසිදා – මගඵල සැනසුම සදනා

අප්පම්පි චේ සහිතං භාසමානෝ
ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගඤ්ච දෝසඤ්ච පහාය මෝහං
සම්මාප්පජානෝ සුවිමුත්ත චිත්තෝ
අනුපාදියානෝ ඉධ වා හුරං වා
ස භාගවා සමඤ්ඤස්ස හෝති

වැඩිය දහම් නොදෙසන මුත් – දන්න දහම මත පිහිටා
දහමට විනයට අනුවම – දිවිමග හුරු කරන කෙනා
රාග ද්වේෂ මෝහ නසා – හැසිරෙයි නුවණින් යුතුවම
දුකින් මිදුන සිතින් යුතුව – නොබැඳී ගිය සිතින් යුතුව
නොඇලී කිසි ලොවක යළිත් – දහම තුළම සිටින කෙනා
හිමිකරු වෙයි බුදුසසුනේ – මලඵල සැනසුම සදනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. ධර්මයෙන් ප්‍රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරමයි. ලෝකයට කොයිතරම් බණ කිය කියා හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලාගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සලස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනන් පස්ගෝරසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි එ්වා ලැබෙන්නේ. ධර්මයේ නොහැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේමයි.

නමුත් ඇතැම් අය ඉන්නවා, වැඩිය කිය කියා ඉන්නේ නැහැ. දන්නා ධර්මය ටිකක් වුනත් කමක් නැහැ. එය තමන් ඉතා හොඳින් ප්‍රගුණ කරනවා. ධර්මයට අනුව ජීවත් වෙනවා. ධර්මයට අනුව කල්පනා කරනවා. ධර්මය තුළට පැමිණෙනවා. ධර්මයෙන් උගන්වන්නේ කෙලෙස් දුරුකිරීම ගැනයි. ධර්මයේ හැසිරෙන කෙනා කෙලෙස් දුරුකරනවා. එනිසා ම නිකෙලෙස් සිතකින් යුතුව කිසිවෙකට නොඇලී නිදහස් සිතින් කල් ගෙවනවා. එවැනි උතුමන් සසර දුකින් එතෙර වෙලා පිරිනිවන් පානවා. එබඳු උතුම් කෙනෙක් වෙන්නට ඇත්නම් කොතරම් අගේ ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ