පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-07-19 වන ඇසළ පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයට අයත් ආනන්ද සූත්‍රය ඇසුරෙන් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ද ඇසළ පුන් පොහෝ දවස. අද වගේ දවසකයි අපගේ බුදුරජාණන් වහන්සේ හා හා පුරා කියල පළමුවෙන්ම තමන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්තුවේ. ඒ ප්‍රථම ධර්ම දේශනාවට කියනවා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම – දම්සක් පැවැතුම කියලා. ධර්ම චක්‍රය කියනවා. ඒ ධර්ම දේශනාවේ තියෙන්නේ ආර්ය සත්‍ය හතරක් ගැනයි. ඔබ අහලා තියෙනවා ඒ ආර්ය සත්‍ය. මොනවද ඒ? දුක නම් වූ ආර්ය සත්‍යය, දුක් හටගන්ට හේතු වූ කරුණු පිළිබඳ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය – දුකින් නිදහස් වීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය – දුකින් නිදහස් වෙන්ට තිබෙන මාර්ගය ගැන ආර්ය සත්‍යය. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වෙන්නේ ඔය කරුණු.

මේ ආර්ය සත්‍ය තුළ විස්තර වෙන්නේ හේතුඵල දහමක්. හේතූන් නිසා ඵල හටගන්න ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයක් කියන්නේ ස්වාභාවික නියාමයක් තියෙනවා. මොකක්ද ඒ නියාමය? හේතුවක් නිසා තමයි ඵලයක් හටගන්නේ. ඒ ඵලය නැතිවෙන්න නම් හේතුව නැතිවෙන්න ඕන. හේතුව නැතිවුනාම ඵලය නැතිවෙනවා. ඉතින් මේ විදිහට තමයි දුකින් නිදහස් වීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. දුක හටගන්න හේතුවෙච්ච කාරණා තියාගෙන දුකින් නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා කියලා ලෝකයේ කිසි කෙනෙකුට නිදහස ලැබෙන්නේ නෑ. තමන් හේතුව උපද්දව උපද්දව ඒකෙන් නිදහස් වීමක් බලාපොරොත්තු වුනාට ඵලක් නෑ.

දැන් අපි කියමු, අනේ මට සීනි අමාරුව නැතිවේවා! කියලා සීනි වැඩිවෙන කෑමම කනවා. නමුත් එයා නිතර දේවාලවලට ගිහිල්ලත් පඬුරු ගැටගහනවා. බෝධිපූජාත් තියනවා. මොකටද ඒ? සීනි නැතිවෙන්න කියලා. එහෙම කර කර එයා මොකද කරන්නේ? පැණි රසම කනවා. චොකලට්ම කනවා. එතකොට එයා සීනි නැතිවෙන ප්‍රතිපදාවකින් යුක්තයිද? නෑ. ඒ සීනි අමාරුවෙන්ම මැරෙනවා.

කෙනෙකුට සීනි අමාරුව හැදිලා ඉන්න කොට වෛද්‍යවරු කියනවා, මේකෙන් වළකින්න මේකෙන් වළකින්න. මේ බෙහෙත් ගන්න. එයා හරි විදිහට ඒ ප්‍රතිකර්ම කළොත් කාලයක් යන කොට සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ රෝගයක් ඇවිස්සෙද්දී, නැත්නම් රෝගයක් තියෙද්දී ඒකට ප්‍රතිකර්ම නොකොට ඒකෙන් සුවපත් වීමක් බලාපොරොත්තු වෙන්ට බෑ. ඒ වගේ මේ දුකක් තියෙන ලෝකයේ මේ දුකෙන් නිදහස් වීමක් බලාපොරොත්තු වෙන්ට බෑ එයට ප්‍රතිකර්මයක් නැතුව. ඒ ප්‍රතිකර්මය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »