“නැණවත්ව දැහැන් වඩන එක දවසත් උතුම්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිවන් මග පෙන්වා දුන් ආකාරය හරි පුදුමයි. ඒ ශ්‍රාවකයනුත් පෙර සසරේ කරන ලද පින් බලය නිසාම හරි පුදුම විදිහට නිවන් මග දියුණු කළා. චිත්ත සමාධිය දියුණු කළා. ප්‍රඥාව දියුණු කළා. බුදුරජාණන් වහන්සේ ‘නිරෝධ සමාපත්තිය’ නම් එක්තරා පුදුම සහගත සමාධියක් ඇති කරගන්නා හැටි ශ්‍රාවකයන්ට කියා දුන්නා. ඒ සඳහා පින ඇති අයට ඒ සමවත ඇති කරගන්න පුළුවන් වුණා. රහත් වුණත් හැම රහතන් වහන්සේටම නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. එය පුළුවන් වුණේ අෂ්ට සමාපත්ති දක්වා සමාධිය දියුණු කළ රහතන් වහන්සේලාට පමණයි. දැන් මේ කතා කරන්නෙත් එබඳු රහතන් වහන්සේ නමක් ගැනයි.

එක්තරා කුලපුත්‍රයෙක් බුදු සසුනෙහි පැහැදිලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය කිසි අඩුවක් නැතුව අසාගන්නට ලැබුණා. සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගත හැකි ආකාරයත් අසන්නට ලැබුණා.

ඉතින් මේ පින්වත් භික්ෂුව අරණ්‍යගත වුණා. හුදෙකලා වුණා. මහත් උත්සාහයකින් යුතුව ධර්ම මාර්ගයෙහි හැසිරුණා. සුළු කලෙකින් සමාධියෙනුත්, ප්‍රඥාවෙනුත් කෙළවරට පත් ‘උභතෝභාග විමුත්ත’ නම් වූ ක්‍රමයට අරහත්වයට පත්වෙන්න වාසනාව ලැබුණා.

උන්වහන්සේගේ නම කොණ්ඩඤ්ඤ. ඔබට කොණ්ඩඤ්ඤ යන නම අසා පුරුදු ඇති. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වද්දී පළමුවෙන්ම සෝවාන් වුණේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේයි. මෙතැන සඳහන් වෙන්නේ උන්වහන්සේ ගැන නොවෙයි. මේ වෙන ස්වාමීන් වහන්සේ නමක්.

ඉතින් මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමන්ගේ ශ්‍රමණ කෘත්‍යය සම්පූර්ණ කරගත් නිසා ශාස්තෘන් වහන්සේව බැහැදැකීමට කල්පනා කළා. දුර ඈත වන සෙනසුනක සිට පා ගමනින් වඩිද්දී උන්වහන්සේ වෙහෙසට පත්වුණා.

විවේක ගැනීමට වටපිට තැනක් බැලුවා. වනයේ ගස් අතරේ ලස්සන ගල්තලාවක් තියෙනවා. පාරෙන් ඉවත් වෙලා උන්වහන්සේ ඒ ගල් තලාව මතට වැඩියා. ටික වෙලාවක් විවේක ගත්තා. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන කියලා. උන්වහන්සේ පිළිවෙලින් අෂ්ට සමාපත්ති දක්වා චිත්ත සමාධිය දියුණු කළා. ඊට පස්සේ නිරෝධ සමාපත්තිය පිණිස කලින්ම අධිෂ්ඨාන කළා. ඒ සමාපත්ති බලයෙන් උන්වහන්සේගේ හෘද ස්ඵන්දනය නැවතුණා. ලේ ගමන නැවතුණා. ආශ්වාස ප්‍රශ්වාස නැවතුණා. සිතුවිලි නැවතුණා. සිත නැවතුණා. ඉතුරු වුණේ ශරීරයේ උණුසුමත්, ආයුෂත් පමණයි. එය හරිම ආශ්චර්යවත් සමාපත්තියක්.

ටිකෙන් ටික රෑ බෝ වුණා. මේ රහතන් වහන්සේ තවමත් ඒ නිරෝධ සමාපත්තියෙන්ම වැඩසිටිනවා. මෙලොවට හෝ පරලොවට හෝ කිසි සම්බන්ධයක් නැති ඒ සමාපත්තිය තුළින් උන්වහන්සේ සකල ලෝකයෙන්ම නිදහස් වෙලා සිටියා.

ඔය අතරේ පන්සියයක පමණ සොර මුලක් ගම් පැහැරීමක් කොට බඩු පොදි බැඳගෙන කැලේ ඇතුළෙන් බොහෝ දුරක් ආවා.

“ඒයි… බොලේ…. අපි සෑහෙන්න දුරක් ආවා… පේන තෙක් මානෙක කවුරුවත් නෑ… සෑහෙන්න කරුවල වේගෙන එනවා… අන්න අතන ගල්තලාවක් තියෙනවා… එතනට ගිහින් මේ බඩු පොදි බෙදා ගනිමු.”

අර රහතන් වහන්සේත් නිරෝධ සමාපත්තියට සම වැදී සිටියේ ඒ ගල්තලාව මතමයි. ඒ සමාපත්ති බලය නිසා උන්වහන්සේගේ ශරීරය ගල් ගැහිලා තිබුණා. නොසෙල්වී තිබුණා. රෑ කරුවලේ නිසා ඒ සොරුන්ට මෙතන කෙනෙක් සිටිනවා කියා සොයාගන්න බැරිව ගියා. ඔවුන් බඩු පොදි ගොඩ ගැහුවේ තෙරුන් වහන්සේ ළඟින්මයි. සමහරු තෙරුන් වහන්සේගේ ශරීරයට බඩු පොදි හේත්තු කළා. ඔවුන් හිතුවේ කිසියම් කණුවක් තියෙන බවයි. ඒ බඩු පොදි මත තවත් බඩු පොදි ගොඩගැහුවා. මහන්සිය නිසා සොරු නින්දට වැටුණා.

පසුදා හිරු නැඟ එද්දී අර බඩු පොදි සෙළවෙන්න පටන් ගත්තා. ඇතැම් බඩු පොදි බිම වැටුණා. සොරු කලබල වුණා. භය වුණා. ඇස් ලොකු කරගෙන මේ මොකද වෙන්නේ කියලා බලා සිටියා. එතන තිබුණේ කණුවක් නොවෙයි. ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියේ. උන්වහන්සේ නැගිට්ටා.

මහ සොරා එක්වන් හඬින් යටිගිරියෙන් කෑ ගහගෙන ගල්තලාවෙන් ඉවතට පැන්නා.

“ඒයි කොල්ලනේ….! පණ බේරගනිල්ලා….. මෙන්න අමනුෂ්‍යයෙක් ඉන්නවා…. පණ බේරගනිල්ලා…..”

සියලුම හොරු භය වුණා. ගල්තලාවෙන් දිව්වා. රහතන් වහන්සේ සමවතින් නැගිට සිටගත්තා.

“හා…. හා…. පින්වත්නි, භය වෙන්න එපා…! මං කුරා කූඹියෙකුටවත් හිංසා නොකරන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්….”

සොරු භයෙන් භයෙන්, හිමිහිට ළං වුණා. ඇස් පිය නොහෙලා මේ භික්ෂුව දෙස බලාසිටියා.

“හැබෑවක්මයි මේ කියන්නේ….. මේ කෙනා මනුෂ්‍යයෙක්…! එතකොට කොහොමද හිත් පිත් නැති ගල් කණුවක් වගේ නොසෙල්වී හිටියේ….? එතකොට කොහොමද අපි මෙතරම් බඩු ගොඩගසද්දී නොදැන සිටියේ…? එතකොට කොහොමද අපි මෙතරම් කෑ කෝ ගසද්දී නොඇසී සිටියේ….? ඒකාන්තයෙන්ම ඒ චිත්ත ස්වභාවය නම් පුදුම සහගතයි!”

අර හොර මුල රහතන් වහන්සේ පාමුල වැඳ වැටුණා.

“අනේ ස්වාමීනී,… අපට සමාවන සේක්වා! අප මේ ගෙවන ලාමක ජීවිතයේ පලක් නැති බව ඔබ වහන්සේ වැඩසිටි ඉරියව්වෙන්මයි අපට පෙන්නුම් කළේ… ඔබවහන්සේගේ ඔය චිත්ත ශක්තිය අභියස අපේ ජීවිතය දර කැබැල්ලක් තරම්වත් වටින්නේ නෑ…. අපි ජීවත් වුණේ සත්තු වගේ. නමුත් මේ මිනිස් ලෝකයේ තව මිනිසුන් පිරිසක් ලෝකයෙන් එතෙර වෙලා අමුතුම සිරියාවකින් බබලනවා.

ඒයි… කොල්ලනේ…. නුඹලා මොකද කියන්නේ…? තවදුරටත් අපි අනුන්ගේ දේවල් කඩා වඩා ගෙන ගෙවන මේ හිස් ජීවිතය ගෙනියනවාද? එහෙම නැත්නම් මේ ශ්‍රමණයන් වහන්සේ වගේ මේ විස්මිත ජීවිතය තෝර ගන්නවාද?”
සියලුම සොරුන් පැවිදි වෙන්න තීරණය කළා. එතකොට ඒ රහතන් වහන්සේ අර සොරුන්ව පැවිදි කොට බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගියා. සමවතට සමවැදී සිටි ඒ රහතන් වහන්සේට කණුවක් කියා රැවටුණු නිසා ඒ හේතුවෙන් උන්වහන්සේ ‘ඛාණු කොණ්ඩඤ්ඤ’ යන නමින් ප්‍රසිද්ධ වුණා.

බුදුරජාණන් වහන්සේ ළඟදී අර පැවිදි වූ පන්සීයක් භික්ෂූන් තමන්ගේ ජීවිත කථාව බුදුරජුන්ට පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අප ගත කළ ඒ අඥාන වූ, හිස් ජීවිතය වෙනස් කළේ අපේ ස්වාමීන් වහන්සේගේ සමාපත්තියේ ආනුභාවයෙනුයි. උන්වහන්සේගේ හැම වචනයක්ම ප්‍රඥාවන්ත ධ්‍යානලාභියෙකුගේ ජීවිතය ඉස්මතු කළා. අපි වෙනස් වුණේ එතැනිනුයි.”

එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා ඒ පන්සීයක් භික්ෂූන් වහන්සේලාට මේ ගාථාව වදාළා.

යෝ චේ වස්සසතං ජීවේ – දුප්පඤ්ඤෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ

සියක් අවුරුදු ගෙවා දැමුවත් – නුවණ නැති හිස් බාල දිවියක්
පලක් නැහැමයි එය කෙනෙක් හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – නුවණ මතු කොට දැහැන් වඩමින්
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්


පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් බලන්න, අර හොරු පන්සීය තුළත් රහතන් වහන්සේලා වීමේ වාසනාව තිබුණා. කලින් ගත කළ හිස් ජීවිතය තුළ ඇති නිසරු බව පසක් වුණේ සාරවත් ලෙස ගත කරන ජීවිතයක් දුටු දවසෙයි. ඇත්තෙන්ම මේ ජීවිතය සරු කරන රහස දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ ජීවිතයට අත්‍යවශ්‍ය දේ කුමක්ද කියලා නිවැරදිව පෙන්වා දෙනවා. අවුලක් නැතුව විග්‍රහ කරනවා. පටලැවිල්ලක් නැතුව පැහැදිලි කරනවා. ඉතින් නුවණ තියෙන කෙනා ඒ ධර්මය තුළින් සාරවත් ජීවිතයක් උදා කරගන්නවා.

බුදුරජාණන් වහන්සේගේ විස්මිත වූ

මාර්ගෝපදේශකත්වය නිසා අර පන්සිය නමම මහරහතන් වහන්සේලා බවට පත්වුණා. බුදු කෙනෙක් ජීවමානව වැඩසිටින යුගයක උන්වහන්සේව දැක, ඒ බුදු බණ අසා, ඒ දහම අවබෝධ කොට සසරෙන් එතෙර වෙන්න මොනතරම් වාසනාවක් අර සොරුන්ට තියෙන්න ඇද්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ