පට මේ මිනිස් ලොවේ දී බොහෝ දේවල් ලැබී තිබෙනවා. එ් අතර පරම දුර්ලභ වූ සම්බුදු රජාණන් වහන්සේ නමකගේ අති පිවිතුරු ජීවිතය ගැන ද අසන්නට ලැබුණා. උන්වහන්සේ සරණ යාම ගැනත්, උන්වහන්සේ විසින් වදාළ චතුරාර්ය සත්‍ය ප‍්‍රකාශිත මිහිරි ශ‍්‍රී සද්ධර්මය සරණ යාම ගැනත් උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ ආර්ය සංඝරත්නය සරණ යාම ගැනත් අසන්නට ලැබුණා. එය අප ලද දුර්ලභ භාග්‍යයකි. එමෙන් ම පිරිසිදු සීලයක් සමාදන්ව රැකගත යුතු අයුරු ද අසන්නට ලැබුණා. එය ද අප ලද වාසනාවකි. එමෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ද අසන්නට ලැබුණා. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය, ප‍්‍රථම ධර්මය දේශනාව, පිරිනිවන් පෑම යන විශේෂ අවස්ථා හතරට අදාල ස්ථානයන් වන්දනා කිරීමේ වටිනාකම ගැන ද අසන්නට ලැබුණා. මේවා අප ලද ඉතා දුර්ලභ සම්පත් ය.

පින්වතුනේ, බුදු කෙනෙක් තුල පවත්නා විශේෂ මානසික බලයන් දහයක් පිළිබඳවයි දැන් අප ඉගෙන ගන්නේ. එ් ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආකාරයටයි.

“පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේට තථාගත බල දහයක් තිබෙනවා. එ් බලයන් ගෙන් යුක්තව යි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව අභීතව ප‍්‍රතිඥා දෙන්නේ. අට පිරිස් මැද සිංහයෙකුගේ නාදයක් බඳු අභීතව දහම් දෙසන්නේ. උත්තරීතර ධර්මචක‍්‍රය ප‍්‍රවර්තනය කරන්නේ. එ් දස බල මොනවාද?

පළමුවෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ ලෝකයේ විය හැකි දේත්, නොවිය හැකි දේත් ගැන එ් අයුරින් ම පිරිසිඳ දැනගන්නවා. මෙය තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

දෙවැනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා යම් කර්මයන් කිරීමක් ඇද්ද, එ් කර්මයන් ගෙන් උපදවන විපාක ගැන කරුණු සහිතව, හේතු සහිතව එ් අයුරින්ම අවබෝධ කිරීමේ හැකියාව තථාගතයන් වහන්සේට තිබෙනවා. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

තුන්වෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ ලෝක සත්වයා උපතක් කරා ගමන් කරන්නා වූ යම් ගමනක් ඇද්ද එ් සෑම ගමනක් ගැන ම එ් ආකාරයෙන් ම අවබෝධ කරගැනීමේ හැකියාවෙන් යුක්තයි. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

හතරවෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ අනේක ස්වභාවයෙන් යුක්ත නා නා ස්වභාවයෙන් යුක්ත ලෝකය පිළිබඳව එ් අකාරයෙන් ම පිරිසිඳ දැනගැනීමේ හැකියාවෙන් යුක්ත යි. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

පස්වෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, ලෝක සත්වයන් ගේ විවිධාකාර වූ මානසික ස්වභාවයන් ගැන හා එහි ඇති අඩුපාඩු පිළිබඳව ඇති නානාධිමුක්තික භාවය එ් ආකාරයෙන් ම දැනගැනීමේ හැකියාව තථාගතයන් වහන්සේ තුළ තියෙනවා. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

හයවෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ ශ‍්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වී ඇති මට්ටම් පිළිබඳව එ් ආකාරයෙන් ම පිරිසිඳ දැනගැනීමේ හැකියාව තියෙනවා. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

හත්වෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ ධ්‍යාන ගැන එ් ආකාරයෙන්ම දන්නවා. එ් වගේ ම විමෝක්ෂ, සමාධි මෙන්ම විවිධ සමාපත්ති පිළිබඳවත් එ් ආකාරයෙන් ම දන්නවා. එ් වගේ ම එ් එ් ධ්‍යාන සමාපත්ති තත්වයන් කිලිටි වන ආකාරයත්, එ්වායින් මුදවා පිරිසිදු කර ගන්නා ආකාරයත්, එ් එ් සමාධි තුළින් නැගී සිටින ආකාරයත්, පිරිසිඳ දැනගැනීමේ හැකියාව තියෙනවා. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

අටවෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් පෙර ජීවිතය ගත කළ අයුරු සිහිකිරීමේ හැකියාවෙන් යුක්තයි. එනම් එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, ජාති දහයක්, ජාති විස්සක්, ජාති තිහක්, ජාති හතලිහක්, ජාති පනහක්, ජාති සියයක්, ජාති දහසක්, ජාති ලක්ෂයක් වුණත් සිහිකිරීමේ හැකියාව තියෙනවා. කොටින් ම නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කිරීමේ හැකියාව තියෙනවා. ”මම අසවල් තැන සිටියා. මේ නමින් සිටියා. මෙම ගෝත‍්‍ර නාමයෙන් සිටියා. මෙවැනි පැහැයෙන් යුතුව සිටියා. මෙවැනි ආහාර අනුභව කළා. මෙවැනි සැප දුක් වින්ඳා. මේ අයුරින් ආයුෂ ඉවර වුණා. එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එහිදී අසවල් නම ලැබුණා. අසවල් ගෝත‍්‍ර නාමය ලැබුණා. අසවල් රූප සෝභාව ලැබුණා. අසවල් ආහාර පාන අනුභව කළා. අසවල් සැප දුක් වින්ඳා. ආයුෂ ඉවර වුණා. එයින් චුත වෙලා මෙහි උපන්නා” ආදී වශයෙන් කරුණු සහිතව එහි මූලික ස්වභාව සහිතව පෙර විසූ ජීවිත ගැන එ් අයුරින් ම සිහිකිරීමේ හැකියාව තියෙනවා. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

නව වෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ මිනිස් ස්වභාවය ඉක්මවා ගිය දිව්‍ය ම ය වූ ඇසින් සත්වයන් චුත වෙන අයුරුත්, උපදින අයුරුත්, උසස් පහත් උපත්වලට පත්වන අයුරුත් පැහැපත් හා විරූපී උපත් ලබන අයුරුත් සුගතියේ හා දුගතියේ උපදින අයුරුත් දැකීමේ හැකියාවෙන් යුක්තයි. තම තමන් කරන ලද ක‍්‍රියාවන්ට අනුරූපව උපත කරා යන සත්වයන් ගැන එ් අයුරින් ම දැනගන්නවා.

“අහෝ! මේ භවත් සත්වයන් කාය දුෂ්චරිතයෙන් යුක්තයි, වචී දුෂ්චරිතයෙන් යුක්තයි, මනෝ දුෂ්චරිතයෙන් යුක්තයි. ආර්යන් වහන්සේලාට උපවාද කරලා තියෙනවා. මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි. මිච්ඡා දිට්ඨියෙන් යුක්තවයි ක‍්‍රියා කරලා තියෙන්නේ. එ් හේතුවෙන් ඔවුන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා.

අහෝ! මේ පින්වත් සත්වයන් කාය සුචරිතයෙන් යුක්තයි, වචී සුචරිතයෙන් යුක්තයි, මනෝ සුචරිතයෙන් යුක්ත යි. ආර්යන් වහන්සේලාට උපවාද කරලා නැහැ. සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨියෙන් යුක්තවයි ක‍්‍රියා කරලා තියෙන්නේ. එ් හේතුවෙන් ඔවුන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා මිනිස් ඇස ඉක්මවා ගිය දිව්‍ය ම ය වූ ඇසින් චුත වෙන උපදින සත්වයන් දැකීමේ හැකියාවෙන් යුක්තයි.

මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

දස වෙනි තථාගත බලය
පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ ආශ‍්‍රවයන් ක්ෂය වීමෙන් ආශ‍්‍රව රහිත වූ චිත්ත විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත්, තමන්ගේ අවබෝධය තුළින් ම ලත් විශිෂ්ට වූ ප‍්‍රඥාවෙන් ප‍්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන එයට පැමිණ වාසය කරනවා. මෙය ද තථාගත බලයක්. අන්න එ් බලය සහිතවයි තථාගතයන් වහන්සේ තම ශ්‍රේෂ්ඨත්වය ගැන අභීත ලෙස ප‍්‍රතිඥා දෙන්නේ. සිංහ නාදයක් බඳු අභීත ලෙස දහම් දෙසන්නේ. උතුම් දහම් සක කරකවන්නේ.

ඉතින් පින්වතුනේ, ඔන්න ඔය තථාගත බල දහයෙන් යුක්ත වූ අපගේ ශාස්තෘන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අද්විතීය, අසාමාන්‍ය, වීරෝදාර, පරම ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යත්ම නායකත්වයට පත් වුණා. එ් ගැන උන්වහන්සේ නොවදාරන්නට වෙන කවුරු නම් උන්වහන්සේ තුළ ඇති එ් කුසලතා සොයා ගනිත්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ