අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

7-3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව

November 6th, 2018|1 Comment

‘මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුණත්, නීරස දෙයක් ලැබුණත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුණත්, වේලිච්ච දෙයක් ලැබුණත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඞ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.’

7-2. මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව

October 20th, 2018|2 Comments

හා...! හා...! පින්වත් මහණෙනි, මාගේ පුත්‍ර වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා...! කිසි දවසක දායක ගෙවල්වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස්සපයන්ගේ සිත ඇලුණෙ නෑ.... මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි! පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්.

7-1. ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව

October 18th, 2018|3 Comments

දේවදත්ත හොරෙන්ම පර්වත මුදුනට නැගගත්තා. ලොකු කළු ගලක් තල්ලු කරගෙන ආවා. හරියටම බුදුරජාණන් වහන්සේගේ හිස මත අතහරින්න ඕන කියලා අර කළු ගල බුදු සිරස මතට අත්හැරියා. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ අසත්පුරුෂයා හිතුවේ ඒක හරි ගියා කියලා. දේවදත්ත හනිකට පැනලා දිව්වා. නමුත් හරිම අසිරිමත් දෙයක් සිදුවුණා.

6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව

October 10th, 2018|Comments Off on 6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව

වස්සානයෙන් පස්සේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට කැමැත්තක් ඇතිවුණා. ඉතින් ඔවුන් පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔවුන් සියලු දෙනාගේ සිත්වල ධර්මාවබෝධයට ඇති හැකියාව බුදුරජුන් විසින් විමසා බැලුවා. ඔවුන්ගේ ධර්මාවබෝධය මුහුකුරා යන ආකාරයෙන් මේ ගාථාවන් වදාළා.