අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

3-8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

March 13th, 2015|4 Comments

සිත රැකගන්නට ඕන නගරයක් ආරක්ෂා කරගන්නවා වගෙයි. නගරයක දිය අගල් තියෙනවා. ප්‍රධාන දොරටු තියෙනවා. ප්‍රාකාර තියෙනවා. එ් ප්‍රාකාර මත ආරක්ෂක අට්ටාල තියෙනවා. සතුරන්ට එකවරම ඇතුළට එන්නට පුළුවන් කමක් නෑ. එ් දොරටුවල ඉතාම සිහි නුවණ ඇති දොරටුපාලයන් ඉන්නවා. හොඳින් හොයලා බලලා තමයි කෙනෙක්ව නගරය ඇතුළට ගන්නේ.

3-6,7. චිත්තහත්ථ තෙරුන්ගේ කථා වස්තුව

March 8th, 2015|3 Comments

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි... දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද...? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා.

3-5. භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථා වස්තුව

March 4th, 2015|1 Comment

පොඩි නමට ගොඩාක් දුක හිතුණා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා. ‘මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ. මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති.

3-4. උකටලී භික්ෂුවකගේ කථා වස්තුව

March 1st, 2015|3 Comments

බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන්ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනා වලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විස්මයජනකයි. සිත ජය ගත නොහැකිව පසුබටව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා.