නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 23

තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා දැනගන්නට අප යන විට, එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලා මනා ඉන්ද්‍රිය සංවර ශීලයෙන් සහ පිරුණු දහම් දැනුමෙන් උපාසක උපාසිකාවන්ට ධර්මය දේශනා කරනාකාරය අපට දකින්නට ලැබේ. චීවරය දැරූ ඒ ගත ද තාරුණ්‍යයේය. එසේ වන අතරේ බහුතර තාරුණ්‍යය පාපී බවට වැටුණේ කෙසේද…? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අද දේශනා කරනුයේ ඒ කාරණය මුල් කරගත්, ධර්ම දේශනාවකි.

පාණ්ඩු රෝගියා සහ ඖෂධය ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තිබෙනවා. “මහණෙනි, යම් පාණ්ඩු රෝගියෙක් ඉන්නවා. ‘ඔබට එක ඖෂධයක් ඇත්තේය. එය ආඝ්‍රාණයෙන් පිළිකුල්ය. වර්ණයෙන් ද ප්‍රසන්න නැත. රසය ද අමිහිරිය. දුකසේ හෝ ඔබ වැළඳුවහොත් සුවපත් වන්නේය’ කියලා මේ පාණ්ඩු රෝගියාට කියනවා. එය ඔහු බැහැර කොට යනවා නම්, ඔහු පාණ්ඩු රෝගයෙන් මිය යනවා. එහෙම කියන කොට, ඒ ඖෂධය පානය කරන වර්ගයේ පිරිස තමයි, ධර්ම මාර්ගයේ යන තරුණ පිරිස. තව කෙනකුට මෙහෙම කියනවා ‘මෙන්න ඔබට බීමක් තිබේ. මෙය අනර්ඝ සුවඳින් යුක්තය. රසයෙන් අති ප්‍රණීතය. ඔබ කැමති නම් පානය කරන්න. මෙහි හලා හල විෂ දමා තිබේ. ඔබ වහා මරණයට පත්වේ.” මේ අනතුර ගැන නොසලකා යම් කෙනකු වස බොනවා වගේ තමයි, වර්තමාන තරුණ පරම්පරාවේ බහුතරයක් වැඩ කරන්නේ.

තරුණයෙක් වේවා, කුඩා දරුවෙක් වේවා, එයාට සත්පුරුෂකම පිහිටලා තියෙන්න ඕනේ… සත්පුරුෂයෙක් වෙන්න පාදක වෙච්ච කරුණු තියෙනවා. එකක් තමයි, කෙළෙහිගුණ. කෙළෙහිගුණ ඇති දරුවා, දෙමව්පියන්ට, ගුරුවරුන්ට භක්තිමත්. කර්මය සහ කර්ම ඵලය විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් ලෞකික සම්මා දිට්ඨිය යනුවෙන් දේශනා කර තිබෙන්නේ, මේ සත්පුරුෂ ධර්ම යි. තමන්ට මව කියා කෙනෙක් විශේෂයෙන් ඉන්නවා කියලා විශ්වාස කිරීම, මව කියා කෙනෙක් විශේෂයෙන් ඉන්නවා කියලා පිළිගැනීම තියෙන දරුවන් සිය දෙමව්පියන්ට රාත්‍රියට නින්දට පෙර, පාසල් යෑමට පෙර වඳිනවා. මෙහෙම වඳින දරුවන්ට තරුණ වයස වෙනකොට අහන්න ලැබෙනවා ‘ඕගොල්ලෝ බිහිවුණේ, දෙමව්පියෝ විනෝද වෙන්න ගිහිල්ලා… ඒ නිසා දෙමව්පියන්ට අමුතුවෙන් සලකන්න ඕනේ නැහැ…’ කියන දේශපාලන දර්ශන. ඒවා මේ රටේ කාලයක් පුරා තිබුණා. දැනුත් තියෙනවා. මේ තරුණයාට ඒ වගේ දර්ශනයක් අහන්න ලැබුණොත්, ඔහු හෝ ඇය තුළ සත්පුරුෂ මූලයක් තිබ්බා නම්, එයා ඒක හිතෙන් ප්‍රතික්ෂේප කරනවා. ‘මාව දස මාසයක් කුසේ තියාගෙන, දුකසේ මාව හැදුවේ මගේ අම්මා… මාව දුක් විඳලා පෝෂණය කළේ තාත්තා… දෙමව්පියෝ සතුටු වෙන්න ගිහිල්ලා මාව හැදුවා නම්. මෙච්චර දුක් විඳලා මාව ඇති දැඩි කරන්න ඕනේ නැහැ…’ කියන එක අර වචනය ඇහෙන වෙලාවට හිතට එන්න ඕනේ…

අපි රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න කියන එක හඳුන්වලා දුන්නා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා… සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බලය, දෙවියන්ගේ දේව ඍද්ධිය, මහ රහතුන් වහන්සේලාගේ රහත් ඍද්ධිය, යන සියල්ල කැප කරපු තැනක් කියලා අපි ඒ ගැන කියලා දුන්නා. සිංහල ජාතියට සෞභාග්‍යය උදාකරපු තැනක් කියලා මම කියලා දුන්නා… යම් කෙනෙක් මට බැන බැන රුවන්වැලි සෑය වඳින්න යනවා. එතකොට එයා සත්පුරුෂ දහමක පිහිටලා නැහැනේ… සත්පුරුෂ දහමක නොපිහිටා යම් අයෙක් මේ වත්පිළිවෙත් කරලා, ප්‍රතිඵලයක් නොලැබුණොත් එයා දෙකට ම බනිනවා… සත්පුරුෂ දහමක නොපිහිටියොත් මේ සරණ ලැබෙන්නේ නැහැ. ඒක ඉස්මතු කරපු පුද්ගලයාට ගරහමින් ඒ වැඬේ කරන්න ගියොත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමාජයක ජීවත්වන සත්පුරුෂයා ගුරු ගෞරවය මත පිහිටනවා… එතකොට ඔහුට එහි ආනිසංස ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක මහලු බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයා තම දරුවෝ හත්දෙනාට දේපළ ලිව්වා. ලියලා පුතාලගේ ගෙවල්වලට ගියහම ඔහුව එම ගෙවල්වලින් පැන්නුවා… අවසානයේදී මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. “බ්‍රාහ්මණය… මේ මොකද… දුකසේ වාසය කරන්නේ?” කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. “ස්වාමීනී… මම බොහොම ධනවත් කෙනෙක්. මගේ දේපළ මම දරුවන්ට බෙදුවා. දැන් මට දරුවෝ සලකන්නේ නැහැ” කියලා බ්‍රාහ්මණයා උත්තර දුන්නා.

ඒ කාලේ දෙමව්පියන්ට සලකන්නේ නැති දරුවන්ට සමාජය තැනක් හිමි වුණේ නැහැ. තත්වයෙන් පහළට ඇදලා දානවා.

මේ නිසා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රාහ්මණයාගේ හැරමිටියට ප්‍රශංසා කරන ගාථා කිහිපයක් ඉගැන්නුවා. “මේ හැරමිටිය ඔබව වැටෙන්න යනකොට ඔබට ආරක්ෂාව සපයනවා. බල්ලෙක් වගේ සතෙක් ඔබට පනින කොට ඔබට රැකවරණය සලසනවා. වල ගොඩැලිවලින් ඔබව බේරනවා.” කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනා කළා. බ්‍රාහ්මණයන්ගේ රැස්වීමකදී බ්‍රහ්මණයා මේ කවි ටික කිය කියා ගියා… මේක ඇහුණු දරුවන් බියට පත් වුණා. “අනේ තාත්තේ…” කියලා තාත්තාව ගෙදර එක්ක ගෙනිගිහිල්ලා සත්කාර කරන්න පටන් ගත්තා. මේ සත්කාර ලැබුණු බ්‍රාහ්මණයා, අන්‍යාගමික කෙනෙක්. සත්කාර ලැබෙණ කොට ඔහු කල්පනා කළා, මේ සත්කාර මට ලැබෙන්නේ කවුරු නිසාද කියලා… ‘මේ සත්කාර මට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. උන්වහන්සේ බලන්න මම යන්න ඕනේ…’ කියලා බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. “භවත් ගෞතමයන් වහන්ස… අපි බමුණෝ නොවැ… අපි ගුරු පඬුරු පුදනවා. ඒ ගුරුහරුකම්වලට උපහාර පිණිස, මම පඬූරු ගෙනාවා…” කියලා කිව්වා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට බණ දේශනාවක් කළා. ඒ බණ අහපු බමුණා සෝවාන් පලයට පත් වුණා.

අන්න ඒ වගේ සත්පුරුෂ මූලයක පිහිටන්න ඕනේ… ‘කවුරු කිව්වත් බණනේ…’ කියලා සමහරු කියනවා. එතකොට දේවදත්ත කිව්වත් බණද…? මේ ශාසනය පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පාප මිත්‍රයා මතත් මේ ශාසනය පවතිනවාද…?

අද තරුණ පරපුර විසින් කළගුණ සැලකීම සහ ගුරු ගෞරවය පිළිබඳව වැඩි සැලකිල්ලක් නැති බව පෙනෙනවා. ශිල්පය පිහිටන්නේ ගුරු ගෞරවය මතයි. කොසොල් රජතුමා දැකපු හීනවල තියෙන්නේ, සඳුන් හර කුණු මාළු ගානට විකුණනවා කියලා. ඒ වගේ අද ඉන්න සමහරු ගුරු ගෞරවය හෑල්ලු කරනවා. ගුරු ගෞරවය නැතිකෙනා ඒ ශිල්පයටත් ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ ශිල්පය ඕනෑම දෙයකට පාවිච්චි කරනවා.

සත්පුරුෂ මූලය උපතින් ම යමෙක් ගේන දෙයක්. මේ උපතින් ගේන එකත් සමහරු අසත්පුරුෂ ආශ්‍රයෙන් නැතිකර ගන්නවා. සත්පුරුෂ මූලය සකස් වෙන්නේ, කළගුණ, කර්මය සහ කර්මඵල අදහාගැනීම මතයි. සත්පුරුෂ සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ බුද්ධ දේශනාවක් තිබෙනවා. “මහණෙනි, අසත්පුරුෂයා උසස් කුලයේ ඉපදෙන්න පුළුවන්. ධනවන්ත කුලයේ ඉපදෙන්න පුළුවන්. මහා ප්‍රභූ පවුලක ඉපදෙන්න පුළුවන්. පැවිදි වෙන්න පුළුවන්. පළමු ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තෙවැනි ධ්‍යානය උපදවන්න පුළුවන්. නේවසඤ්ඤානාසඤ්ඤා ධ්‍යානය පවා උපද්දවන්න පුළුවන්.” එහෙම අසත්පුරුෂයන්ට තමයි වර්තමාන ලෝකයේ තරුණ දරුවන් අහුවෙලා තියෙන්නේ. අසත්පුරුෂ ඕඝයකට තමයි මේ සමාජය අසුවෙලා තියෙන්නේ. ඒ ඕඝයට අසුවුණු යෞවනයේ අවසානය සතර අපාය ම තමයි. කළගුණ සැලකීමත්, කර්මය දායාද කරගෙන වාසය කිරීමත් තමයි මේ ඕඝයෙන් ගැලවීමට ඇති එකම මඟ. මේ ගැන නිරන්තරයෙන් ම සිතන්න ඕනේ. එය සතිසම්පජඤ්ඤයක් කර ගත යුතුයි. මෙය තමයි අද යෞවනයාට තියෙන අභියෝගය.

මෙතැනදී යෞවනයා විසින් තමන්ගේ අධ්‍යාත්මික පියාණන් වහන්සේ ලෙස භග්‍යවතුන් වහන්සේ මුදුනතෙහි තබා ගත යුතුයි. ආධ්‍යාත්මික මව් ලෙස උන්වහන්සේ විසින් දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය තබා ගත යුතුයි. එහෙම තබා ගත් කෙනාට තමන්ගේ මාර්ගයට අවැඩක් වෙන්නේ නැහැ. කර්මයේ සහ කර්ම ඵලය ගැන කියන, කුසලයට උදව් කරන සඟ පරපුර ගුරුවරු විය යුතුයි. ඊළඟට තමන්ට සත්පුරුෂ වෙන්න උදව් කරන කල්‍යාණ මිත්‍රයා ළංකරගත යුතුයි. තමන්ගේ ඥාතීන් කරගත යුත්තේ, සක් දෙවිඳු, සතර වරම් දෙවිවරු ආදී මාර්ගඵලලාභී දෙව් පිරිස. එතකොට යෞවනයාට රැකවරණය ලැබෙනවා. යෞවනයා නිතරම කල්පනා කළ යුත්තේ, තමන්ව රැකගන්නා ආකාරයයි. බුදුරජාණන් වහන්සේ නතුම්හ සූත්‍රයේදී දේශනා කර තිබෙනවා, “නායං භික්ඛවේ කායෝ තුම්හාකං, නාපි අඤ්ඤේසං. පුරාණමිදං භික්ඛවේ කම්මං අභිසංඛතං අභිසඤ්චේතයිතං වේදනියං දට්ඨබ්බං… (මහණෙනි, ඔය දරාගෙන සිටින ශරීරය නුඹලාගේ නොවේ. වෙනත් අයකුගේ ද නොවේ. මහණෙනි, මේ කය පැරණි කර්මයකි. මෙය චේතනාවෙන් සකස් කරන ලද කර්මානුකුලව සැදුනු දෙයකි. මෙය විඳීමෙන් දැනගන්නා දෙයකි.)

මේ නිසා මේ කයට කර්මානුකුල පසුබිමක් තියෙනවා. තරුණ වයසේ දුවලා, පුතාලා හොඳ ජීවිතයක් ගත කරන්න කැමතියි… හොඳ ස්වාමියෙක්, භාර්යාවක් ලබන්න කැමතියි. සියදෙනෙක් ගත්තොත් ඒ සිය දෙනාට ම මේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න බැහැ. ඒකට කර්මානුකුල පසුබිමක් තියෙනවා. මේ තරුණ ජීවිතය මරණයට නියම වුණු කෙනකුට හමුවුණු ප්‍රණීත කෑම වේලක් වගේ.

වර්තමාන තරුණයා විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය සහ මත් වතුර එක හේතුවක්. මේ ජාතිය විනාශ කරන්න විදේශ බලවේග අටවපු මේ උගුලට සිංහල බෞද්ධ තරුණයා හසුවුණා. අනිත් එක ඉන්ටෙර්නෙට් සහ එහි තිබෙන ෆේස් බුක්. මේ දෙකට අද තරුණ පිරිස අසුවෙලා. මේ උගුල්වලට අසුවෙන තරුණයා විනාශ වෙන්න පටන් ගන්නවා. සිල්පද කඩා ගත්ත දෙමව්පියන්ගේ දරුවන්ට ගෙදරින් ලැබෙන නරක ආදර්ශත් හේතුවක් වෙලා තියෙනවා.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර