නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සැවැත් නුවර ජේතවනාරාමයේදී ………….

එකත්පසක හිඳගත් පසේනදී කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“පින්වත් මහාරාජ, මේ මහ දවල් කොහේ ඉඳලා එන ගමන්ද?”

“ස්වාමීනී, අපි ඉතින් යම් පෘථුවි මණ්ඩලේ දිනපු ඔටුණු පළන්දපු රජවරු නෙව. අපිට යස ඉසුරු තියෙනවා. කාම සැප සම්පත් තියෙනවා. ජනපද තියෙනවා. ඉතින් අපට එ් ගැන රාජකාරි තියෙනවා. එ් රාජකාරිවල උත්සාහවත් වෙලා එන ගමනුයි මේ ආවෙ.”

“පින්වත් මහාරාජ, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? නැගෙනහිර දිශාවෙන් විශ්වාස කටයුතු පිළිගන්න පුළුවන් වචන තියෙන පුද්ගලයෙක් එනවා. ඔහු ඔබ ළඟට ඇවිත් මෙහෙම කියනවා. ‘හා! දේවයන් වහන්ස, දැන වදාළ මැනැව. මං නැගෙනහිර දිශාවේ ඉඳලයි එන්නෙ. මං දැක්කා අහස උසට අතිවිශාල පර්වතයක් සියලු සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්ස, එ් වෙනුවෙන් ඔබවහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළ මැනැව.’ එතකොටම බටහිර දිශාවෙනුත් පුද්ගලයෙක් එනවා …. (පෙ) …. එතකොටම දකුණු දිශාවෙනුත් පුද්ගලයෙක් එනවා …. (පෙ) …. එතකොටම උතුරු දිශාවෙනුත් විශ්වාස කටයුතු පිළිගන්න පුළුවන් වචන තියෙන පුද්ගලයෙක් එනවා. ඔහු ඔබ ළඟට ඇවිත් මෙහෙම කියනවා. ‘හා! දේවයන් වහන්ස, දැන වදාළ මැනැව. මං උතුරු දිශාවෙ ඉඳලයි එන්නෙ. මං දැක්කා අහස උසට අතිවිශාල පර්වතයක් සියලු සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්ස, එ් වෙනුවෙන් ඔබවහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළ මැනැව.’

පින්වත් මහාරාජ, ඔය ආකාර වූ මහා භයානක අවස්ථාවක් දරුණු අවස්ථාවක් ඇති වුනොත් දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබූ ඔබ ගන්න පියවර කුමක්ද?”

“ස්වාමීනී, ඔවැනි මහා භයානක, දරුණු, මිනිසුන් වැනසෙන අවස්ථාවක් ඇති වුණොත් දුර්ලභ මනුස්ස ජීවිතේ ලබාපු මම ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?”

“පින්වත් මහාරාජ, ඔබට මේ කාරණය දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ඔබට මේ කාරණය පවසන්න සිද්ධ වෙනවා. පින්වත් මහාරාජ, ජරා මරණ දෙක ඔබව යටකරගෙන යනවා. පින්වත් මහාරාජ, ජරා මරණ දෙක ඔබව යටකරගෙන යද්දී ඔබ ගන්න පියවර මොකක්ද?”

“ස්වාමීනී, ජරා මරණ දෙක අපව යටකරගෙන යද්දී ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?

ස්වාමීනී, මිහිමඬල දිනාගත් රජ කෙනෙකුට, ඔටුණු පළන්, යස ඉසුරු පිරිලා තියෙන, කාම සම්පත්වලට යටවුන, ජනපද වලට අධිපති රජ කෙනෙකුට, ඇත්තුන්ගෙන් කරන යුද්ධ ඇතිවෙනවා. එ් වුනත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය ඇත් යුද්ධවලින් නම් වැඩක් නැහැ. ප‍්‍රයෝජනයක් නැහැ.

ස්වාමීනී, ඔටුණු පළන්දපු රජවරු ඉන්නවා …. (පෙ) …. අශ්ව සේනාවෙන් කරන යුද්ධ තියෙනවා …. (පෙ) …. රථ සේනාවෙන් කරන යුද්ධ තියෙනවා …. (පෙ) …. පාබල සේනාවෙන් කරන යුද්ධ ඇතිවෙනවා. එ් වුනත් මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය පාබල යුද්ධවලින් නම් වැඩක් නැහැ. ප‍්‍රයෝජනයක් නැහැ.

එ් වගේම ස්වාමීනී, මේ රජකුලේ මන්ත‍්‍රීවරු, මහඇමතිවරු ඉන්නවා. එ් අයට හතුරොත් එක්ක කුමන්ත‍්‍රණය කරලා, එ් හතුරන්ව බිඳවල දාන්න පුළුවන්කම තියෙනවා. එ් වුණත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපට යට කරද්දී, ඔය යුද කුමන්ත‍්‍රණවලින් නම් වැඩක් නැහැ. ප‍්‍රයෝජනයක් නැහැ.

ස්වාමීනී, අපේ මේ රජ කුලේ රන්, රිදී පිරිල ඉතිරිලා තියෙනවා. අහසේ පොළොවේ ඕනතරම් වස්තුව තියෙනවා. ළඟට ආපු හතුරන්ව වුනත් එ් ධනයෙන් පොළඹවගන්න පුළුවන්කම තියෙනවා. එ් වුනත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය ධන යුද්ධයෙනුත් නම් වැඩක් නැහැ. ප‍්‍රයෝජනයක් නැහැ.

ඉතින් ස්වාමීනී, ජරා මරණ දෙක අපව යටගෙන යනකොට ධර්මයේ හැසිරීම හැර, යහපතේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර වෙන මොකක්ද කරන්න තියෙන්නේ?”

“පින්වත් මහාරාජ, එ්ක එහෙමම තමයි. පින්වත් මහාරාජ, එ්ක එහෙමම තමයි. ජරා මරණ දෙක ඔබව යටකරගෙන යනකොට, ධර්මයේ හැසිරීම හැර, යහපතේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් වදාළා.

“අහස උසට තියෙන විශාල පර්වත, හාත්පස, හැම දිශාවෙම සතුන්ව සුණු විසුණු කරගෙන, පෙරළීගෙන එනවා වගෙයි.

ඔය විදිහට උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා අායෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා දානවා.

එ් ජරා මරණවලින් දිනන්න ඇත් සේනාවකට බෑ. රථ සේනාවකට බෑ. පාබල සේනාවකට බෑ. කුමන්ත‍්‍රණ යුද්ධවලට බෑ. ධනයටත් බෑ.

එ් නිසා නුවණැති ධෛර්යවත් සත්පුරුෂයා, තමන්ගේ යහපත දකිනවා නම්, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව පිහිටුවාගන්න ඕන.

යමෙක් කයෙනුත්, වචනයෙනුත්, හිතිනුත් ධර්මයේ හැසිරෙනවා නම්, මෙලොවදීම ඔහු ප‍්‍රශංසා ලබනවා. පරලොව සුගතියේ ඉපදිලා සතුටු වෙනවා.”

(සංයුත්ත නිකාය – 1 , පබ්බතූපම සූත්‍රය ඇසුරිනි)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ