ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ පමණි.

කෙනෙක් කල්පයක කාලයක් තුළ මරණයට පත්වන වාර ගණනේදී ඔහුගේ ඇට සැකිල්ල පස් වී නොයන්නේ නම්, එ් ඇට සැකිලිවලින් සුවිසල් කන්දක් තැනිය හැකි බවට බුදුරජාණන් වහන්සේ වදාළේ දීර්ඝ සසරේ ස්වභාවය ගැන බුද්ධිමත් මිනිසෙකුට යළි යළිත් සිතන්නට ඇරයුම් කරමිනි.

එබඳු දීර්ඝ ගමනක් තුළ කෙනෙකුට ලැබෙන්නේ මිනිසත් බව පමණක් නොවේ. පෘථග්ජන භාවයේ ම රැඳී මේ සසර චාරිකාව දිගින් දිගට පවත්වන කෙනා ඒක ජීවිතයක මිනිසෙකි. ඊළඟ ජීවිතයේ ඔහු නැවත මිනිසෙකු වී කලාතුරකින් සිදුවන දෙයකි. බොහෝ විට සිදුවන්නේ පේ‍්‍රත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ හෝ නිරය වැනි තැනක හෝ උපත ලැබීමයි. මේ නිසා මිනිසත් භාවය ලැබූ තැනැත්තා හට එහි වටිනාකම හඳුනාගත හැක්කේ ශ‍්‍රී සද්ධර්මය තුළින් පමණි. ජීවිතය ගැන ඉතා නිවැරදි දැනීමක් ලබාගැනීමට නම් පිරිසිදු බුද්ධ දේශනාවන්ට සවන් දිය යුතුය. ක්ෂණ සම්පත්තිය ලැබීම ගැනත්, ක්ෂණ සම්පත්තිය අහිමි වීම ගැනත්, ශ‍්‍රී සද්ධර්මය තුළ ඉතා පැහැදිලිව දැකිය හැකිය. ක්ෂණ සම්පත්තිය අහිමි වීම ගැන බුදුසමිඳුන් අපට හඳුන්වාදී වදාළේ දුෂ්ටක්ෂණය නමිනි. එනම් එහි ඇත්තේ සම්පතක් නොවේ, දුෂ්ටතාවයකි.

චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට ඇසෙන්නට පටන් ගන්නේ බුද්ධ කාලයක පමණි. එය බුදුරජාණන් වහන්සේගෙන් හා බුද්ධ ශ‍්‍රාවකයින්ගෙන් පමණක් අසන්නට ලැබේ. එලෙසින් ඉතා දුර්ලභ වූ එ් චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට ඇසෙද්දී යමෙක් සිටින්නේ එය අවබෝධ කළ නොහැකි පරිසරයක නම් එ් ක්ෂණය ඉතා දුෂ්ට වූ මොහොතකි.

චතුරාර්ය සත්‍යය ධර්මය නම් වූ ශ‍්‍රී සද්ධර්මය පිළිබඳ පරම සුන්දර පණිවුඩය මිහිරි සුවඳක් සේ ලොව පුරා පැතිර යද්දී එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ නිරයේ නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙද්දී එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ තිරිසන් අපායේ නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය ඇසෙන මායිමට පැමිණීමේ වාසනාවක් පේ‍්‍රතයින්ට නැත. එය ඔවුන්ට දුෂ්ටක්ෂණයකි. සතර අපායේ ඉපිද සිටින සියලු සත්වයෝ ක්ෂණ සම්පත්තිය අහිමි කරගත් පිරිස වෙති. එමෙන් ම චතුරාර්ය සත්‍යය ධර්මය පැතිර යද්දී යම් මිනිසෙක් එය නොඇසෙන දුරක දිවි ගෙවයි නම්, ඔහුගේ ක්ෂණ සම්පත්තිය ද අහිමි වී ඇත. එමෙන් ම චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරද්දී යමෙක් එයට සවන් දුන්න ද එ් තැනැත්තා මන්දබුද්ධික කෙනෙක් නම් එය ද ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරද්දී එයට සවන් දිය නොහැකි බොහෝ ආයුෂ ඇති බ‍්‍රහ්ම තලවල කෙනෙක් ඉපදී සිටිත් නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. මෙහි ඇති මෙවැනි ම වූ ඉතා බරපතල ඊළඟ අවස්ථාව නම් කෙනෙක් ඉතා බුද්ධිමත්ව මිනිස් ලොව ඉපිද සිටී. ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබුණොත් එය අවබෝධ කොට මගඵල ලබා සතර අපායෙන් මෙන් ම සසරින් ද නිදහස් විය හැකිය. එහෙත් ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබේ. එය ඔහු ලබා ඇති දුෂ්ටක්ෂණයකි.

බුද්ධිමත් මිනිසෙකුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙද්දී ඔහු එ් කෙරෙහි පහදී නම්, ‘අනේ… මටත් මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට පුළුවන්’ යැයි සිතා ඔහු තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවට පැමිණෙයි නම් එ් තැනැත්තාට පරම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලැබේ.

ලංකාවාසී අප බෞද්ධ නමුත්, ගෞතම බුදුරජුන් සරණ යන නමුත් අප දන්නා තරමින් අපගේ දෙමාපියන් මුතුන් මිතත්තන් නෑදෑයින් යහළු මිත‍්‍රාදීන්ට එ් ක්ෂණ සම්පත්තිය ලැබූ බවක් දැකගන්නට නැත. කොටින් ම අපට දෙසන ස්වාමීන් වහන්සේලා අතර පවා යමෙක් ක්ෂණ සම්පත්තිය ලබා සිටිත් නම්, එය ඉතා දුර්ලභ දෙයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ‍්‍රී සද්ධර්මය ඉතා නිරවුල්ව ඉතා ප‍්‍රභාෂ්වරව ධර්ම විනය තුළ අද පවා බුද්ධිමත් කෙනෙකුට දැක්ක හැකිය. චතුරාර්ය සත්‍යය පිළිබඳ ඉතා පැහැදිලි විස්තර අද පවා පහසුවෙන් කෙනෙකුට ඉගෙන ගත හැකිය. එවන් දුර්ලභ වූ පරම පිවිතුරු වූ එම චතුරාර්ය සත්‍යය ධර්මය අසා දැනගෙන ක්ෂණ සම්පත්තිය ලබාගැනීමට තරම් භාග්‍යවන්ත බවක් අපට නොලැබී ගියේ මක් නිසාද?

වර්තමානයේ ජීවත් වන කෝටි සංඛ්‍යාත මිනිස් වර්ගයා අතර ක්ෂණ සම්පත්තිය ලබාගත් පිරිස් වශයෙන් ගිණිය හැක්කේ ඉතා සුළු පිරිසකි. එයට ප‍්‍රධාන ම හේතුව වූයේ බුදුරජාණන් වහන්සේ වදාළ එ් ශ‍්‍රී සද්ධර්මයේ සුවිශේෂී පණිවිඩය වන චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබීම මිසක් වෙන හේතුවක් අපට නොපෙනේ. චතුරාර්ය සත්‍යය ධර්මය පවසද්දී යම් කෙනෙක් එ් උතුම් ශ‍්‍රී සද්ධර්මයට ද්වේෂ කරයි නම්, ගර්හා කරයි නම්, හෙලා දකියි නම්, එ් කෙනා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඔහු කෙලින් ම බුදු සසුන විනාශ කිරීමට දායකත්වය සපයයි. අධර්මවාදීන්ගේ අවිනයවාදීන්ගේ එබඳු බණ ඇසූ පිරිස එ් මතය පිළිගනිද්දී පවා චතුරාර්ය සත්‍යය ධර්මය ගර්හා කරත් නම් හෙලා දකිත් නම් ඔවුන් ද දුර්ලභ වූ මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගනිති.

තම හිසට ගිනි ඇවිලෙද්දී එය පවා නොසලකා හැර චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හදිස්සි වන්නැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එහි ඇති සුවිශේෂී වටිනාකම බුදු ඇසින් මනාකොට දුටු නිසා ය. එම නිසා තෙරුවන් සරණ ගිය ආර්ය ශ‍්‍රාවකයෙකුට නිතර නිතර අසන්නට ලැබිය යුත්තේ චතුරාර්ය සත්‍යය ධර්මය යි. බුද්ධිමත් මිනිසෙකුට ක්ෂණ සම්පත්තිය මතු වන්නේ එ් තුළින් මිස වෙන කිසි දෙයක් තුළින් නොවේ.

බුදුරජුන් පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත හැකි මිනිසුන් මේ සමාජය තුළ සිටින බවයි. ඔවුන් හට එම උතුම් ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් ලද එ් බුද්ධියෙන් පවා පිරිහී යා හැකි බවයි. එවිට ක්ෂණ සම්පත්තිය අහිමි වී යයි. ක්ෂණ සම්පත්තිය අහිමි වූ උදවිය නිරයේ ඉපිද තමන් ලද දුර්ලභ භාග්‍යය අහිමි වීම නිසා ශෝක කරමින් කල් ගෙවන බව බුදු සමිඳාණෝ වදාළ සේක.

පෘථග්ජනභාවය නැමැති මඩ වගුරෙන් නිදහස් වී ආර්ය ශ‍්‍රාවක භාවයට පැමිණිය හැක්කේ ක්ෂණ සම්පත්තිය ලබාගැනීමෙනි. අප කවුරුත් පෘථග්ජන කියමින් දුෂ්ටක්ෂණයට පැමිණෙන අවාසනාවන්ත මිනිසුන් ගැන උපේක්ෂා සහගත වීම හැර වෙන කළ යුතු දෙයක් නැත. එම නිසා මේ දුර්ලභ මොහොතේ වටිනාකම ඔබ බුද්ධිමත් නම් ඔබට අවබෝධ කරගත හැකිය. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ, කෙනෙකුගේ දේශනා විලාශය ආකර්ෂණීය වීම නිසා නොවේ. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ දහම් දෙසන කෙනා ලස්සන නිසා නොවේ. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ දහම් දෙසන කෙනාට මිහිරි හඬක් තිබීම නිසා නොවේ. ඔබ බුද්ධිමත් නම්, ඔබ සවන් දෙන ධර්මය තුළ ඉතා පැහැදිලි ලෙස ඉතා පිරිසිදු ලෙස චතුරාර්ය සත්‍යය ධර්මය තිබේදැයි නුවණින් විමසා බැලිය යුතුයි. එ් චතුරාර්ය සත්‍යය ධර්මය කරා ඔබ නොයයි නම් ඔබ කොතෙක් වාර ගණනක් බණ ඇසුව ද ඔබ අසා තිබෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස් සමූහයක් විනා බුදුරජුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය නොවේ. දහම් පද උපුටා දක්වමින් මේ වසර හැට හැත්තෑවක ජීවිතය පමණක් ලෞකික වශයෙන් සරු කිරීමට කතා කරයි නම්, ඔහු මේ සා දීර්ඝ සසර ගමනේ ස්වභාවය කෙසේ නම් දැනගන්නද?

එ් නිසා දැන් ඔබ ක්ෂණ සම්පත්තිය කුමක්දැයි නිවැරදිව තේරුම් ගත යුතුය. ඔබ ජීවිතය තේරුම් ගැනීමට හැකියාව තිබෙන බුද්ධිමත් මිනිසෙකු නම්, එක සුදුසුකමක් දැන් ඔබ තුළ සම්පූර්ණ වී ඇත. එබඳු ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය ඉතා පිරිසිදු ලෙස ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, කියවන්නට ලැබෙයි නම්, පරම දුර්ලභ වූ ධර්මය ඔබට මුණගැසී ඇත. එ් තුළින් තෙරුවන් කෙරෙහි අවංක ශ‍්‍රද්ධාවක් ඔබට ඇති වී මේ බුදු සසුනේ ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවයක් ඔබේ හදවතේ පැණ නගී නම් ඔබ ඉතා ම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලබාගත් කෙනෙකි. ඔබට එ් ක්ෂණ සම්පත්තිය අහිමි නොවේවා යනු අපගේ සෙනෙහෙබර පැතුමයි.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ