වංගහාර දනව්වට යාබද මහමූකලානක් තිබ්බා. නාලා කියන වැදි ගම්මානෙට යන්න තියෙන්නෙ ඒ මූකලාන මැදිනුයි. ඔය වැදි ගම්මානේ වැදි රැහැනක් හිටියා. ඔවුන් දඩයමෙනුයි ජීවත් වුණේ. සතාහීපාවා හක්කොලං කොරාපු මූකලානේ තමයි එවුන්ගේ පිපාසා නිවන්නේ. ගිනිරාස්සි අව්ව ඇදබාලා දියපොජ්ජ කම්මුතු කොරාපු කාලෙට උන්ට සරුයි.

දවසක් කැලේ මහහූරා දඩයම් ගිය උදැහැනැක්කෙ වනපොජ්ජෙ හක්කොලං කොරන තාපසීන්නාන්සෙ කෙනෙක් මුලිච්චි වුණා. මාහූරා කතා ඇද බෑවා.

“මයෙ දෙයියලැත්තො….. මුන්දෑ මොකෝ මේ මූකලානේ මංගච්චන්නේ….?”

“මාමණ්ඩියේ, මං තාපසයෙක්. චිත්ත විවේකයෙන් ගත කොරන්ඩ වනපොජ්ජට ආවා. උඹැහේ දන් පොජ්ජක් පූජා කොරගත්තොත් දෙයියලැත්තෝ සංතෝස වෙලා දඩයම් පොජ්ජ සරු කොරාවි.”

“හප්පා….! සත්තටම ද? තාපසලැත්තෝ ඔය දොඩන්නේ…?”

“එහෙනම්….. මං බේගල් ඇද බාන්නෙ අහවල් කජ්ජකට ද?”

මාහූරා කල්පනා කොළා. ‘යසයි, මේ තාපසලැත්තන්ට කොටා බාන්ට බත් පොජ්ජක් දෙන්ඩ බැරියැ.’

“මේ…… තාපසලැත්තෝ, එහෙනම් අපේ රැහේ මොටාලගේ පැල්කොටපොජ්ජෙ මංගච්චන්නෙ නැතුවට කාරී නෑ. උඹැහේ ගල්ලෙනේ හිටිං. දෙය්යලැත්තට යාතිකා කොරලා කංකුනා (මුවා) බිම හෙළා බාන්ට මංගච්චද්දි උඹැහෙට බත් ගෙඩියක් මං මුලිච්චි කොරඤ්ඤං.”

“හොඳා… හොඳා… මාමණ්ඩියේ… මයෙ මොකෝ…. ආන්න අර කඳුගැටේ ඉස්මත්තේ ගල්ලෙනේ තමයි මං ඉන්නේ.”

කලක් ගත වුණා. මාහූරා තාපසලැත්තන් සමඟ ගොඩාක් ලෙංගතු වුණා. තාපසලැත්තො දැන් යහතින් තපස් කරනවා. මාහූරාගෙන් නිතිපතා බත්ගෙඩියක් ලැබෙනවා.

දිනක් හැන්දෑකොරේ මාහූරා තාපසලැත්තන්ගේ ගල් ලෙනට දිය ලබ්බක් ඇන්න ආවා.

“කෝ මේ තාපසලැත්තෝ…. ආ…. මේ ඉන්නේ…. මං ටික දොහකට ඈත මූකලානෙට රැහේ මොටාලත් එක්ක ගාල් වෙනවා. ඉර පොජ්ජට වහං වෙලා කංකුනා කැලෑ පොජ්ජෙ මකබෑවෙලා. මුංට දැන් දඩයම විසයි. පෑළවියට කලින් රැහේ මංඩියට මංගච්චන්ඩ බැරි වෙයි.

උඹැහේ මගේ පැල්කොටේට වීදිපොජ්ජට පාත්තරෙත් ඇන්න හක්කොලං කොරන එකයි ඇත්තෙ. මයෙ අඹුවට කියලයි තියෙන්නේ බත් ගෙඩියක් පූජා කොරන්ඩ කියලා.”

පසුවදා තාපසලැත්තෝ පාත‍්‍රයත් රැගෙන වැදි ගමට සේන්දු වුණා. වියැළී ගිය කැලෑ බූටෑව, අංගපුලාවකට නැති ඉනිවැට, කොළඅතු සෙවිලි කළ අළු පාට වැදි කොරටුව තාපසලැත්තෝ දැක්කේ මූකලානේ ම කොටසක් හැටියට යි. මාහූරාගෙ අඹුව වැට ඉනිකඩ ළඟ බලාන හිටියා. තාපසලැත්තෝ සංසුන් ගමනින් පාත‍්‍රය අතැතිව මාහූරාගේ පැල් කොටේට ළං වුණා. අඹුව ඉනිකඩ ළඟ සිට පැල්කොටේ දෙසට අඬහැර බෑවා.

“ඒයි! කැකුලී…. කෝ මේ චාපා….? මෙහෙ වරෙන් කැකුලී…. තාපසලැත්තෝ මෙන්න පැල්කොටේට මංගච්චලා…. බත්ගෙඩිය ඇන්න වර….”

තාපසලැත්තා පැල්කොටේ දෙස බැලූවා. අළුපාට පැල්කොටෙන් චාපා එළියට ආවා. වලාකුලකින් විදුලියක් නික්මුණා වගෙයි. මිදුල් පොජ්ජ දිලිසුණා. තාපසලැත්තෝ ඇස්පිය නොහෙළා දෑස් විදහාගෙන බලාන ඉන්නවා. බත්ගෙඩිය අතින් ගත්ත චාපා තාපසලැත්තන්ගේ අමුතු බැල්මට තිගැස්සුණා. පියවර කීපයක් පස්සට වීසි වුණා. ඒ මොහොතෙම තාපසලැත්තගෙ භාවනාව සුන්නද්දූලි වුණා.

“ඈ…….! හරී ම පුදුම යි….. මේ හද්දාමූකලානේ……… මේ වැදි කොරටුවේ…… මෙතරම්ම සෝභාසම්පන්න කැකුලියක් කොහෙන් ද? ෂා….! මේකිගෙ නම චාපා. ඉන්ද්‍රචාපා වෙන්න ඇති. දේදුන්නක්වත් මේකි තරම් හැඩ නැතුව ඇති. බාරාණසියේවත්, ගයාවේවත්, වංගහාර ජනපදයේවත් මේ වගේ රන්වනින් බබළන ගැටිස්සියක් මට මුලිච්චි වෙලා නෑ. මේකිගේ නේත‍්‍ර කාන්තිය රන්දුන්නේ රාමසැරය වගෙයි”

චාපා බියෙන් වගේ බත්ගෙඩිය ගෙනැවිත් පාත්තරේට පූජා කොළා. ඇගේ රන්වන් සිහින් දිගැටි ඇඟිලි තුඩු දෙස තාපසලැත්තෝ බලාන හිටියා. මොකක්දෝ අමුත්තකින් උන්නාන්සෙගෙ මුළු සරුවාංගෙ ම හීතල වෙලා ගියා. කිලිපොලා ගියා. පපුකැනැත්ත හෙල්ලුම් කන්ට පටන් ගත්තා. වෙනදට තාපසලැත්තො ‘සුවපත් වේවා’ කියනවා. අද ඒකත් අමතක වුණා.

ටික වේලාවක් චාපා දෙස බලා සිටිය තාපසලැත්තො මුහුණ බිමට හරවා ගත්තා. කෙලින්ම කඳු ගැටේට සේන්දු වුණා. ගල්ලෙනේ දොරකඩට ආවා. බැලූ බැලූ අත පෙනෙන්නේ චාපාමයි. බත්ගෙඩිය බිමින් තිබ්බා. ආකහේ බැලුවා. වලාකුළු අතරින් චාපා හිනැහෙනවා. රූස්ස ගස් පිරි වනාන්තරය පුරාවට වටපිට බැලුවා. රුක් පඳුරු අතරින් චාපාගේ නිල්වන් දෑස් දිලිසෙනවා.

තාපසලැත්තෝ එහෙම ම ඇනතියාගත්තා. හිස අත්බැඳගත්තා. බෙරිහන් දිදී හඬන්න පටන් ගත්තා.

“ඔව්! මට එපා…… මට එපාමයි මේ බත්ගෙඩිය…… හැබෑට මට මොකටෙයි මේ මූසල තාපසකම. මට වෙච්ච නස්පැත්තියක්. මං මේ මූකලාන් ගල්ලෙනට වැදිලා තනිපංගලමේ අහවල් සතුටක් ලබන්ට ද? බෑ….. මං කොහොම ද තනිපංගලමේ බත් බුදින්නේ…?”

කීප දවසකින් රැහේ මොටාලත් සමඟ මාහූරා ‘නාලා’ කියන වැදි ගම්මානෙට ආපහු ආවා. මෙවර උන්දැලාට සරුයි. මහා බරට දඩයම් කදක් ඇන්න ඇවිදින්. අදා දඩමසුයි, බතුයි සප්පායම් වෙද්දි මාහූරට තාපසලැත්තන්ව මතක් වුණා.

“ඈ…… කැකුලී…. තාපසලැත්තෝ පැල් කොටේට මංගැච්චුවැයි….? උඹැහෙලා උන්නාන්සෙට සප්පායම් වෙන්න බත්ගෙඩි පූජා කොළා ද?”

“අනේ අප්පලැත්තො…… අපේ තාපසලැත්තෝ එක වංගියයි මෙහාට මංගැච්චුවේ. කීප දොහක් ගත වුණා. දෙයියලැත්තො තමා දන්නේ. තාපසලැත්තො ආයෙ මුලිච්චි වුණේ නෑ…..”

“හොඳා….. මං උදැහැනැක්කේ යඤ්ඤං.”

මාහූරා කඳුගැටයට සේන්දු වෙද්දි ගල්ලෙන පිහිටි බිම පුරා පාළු ගතියක් දිස් වුණා. වටපිටාවේ කොළරොඩු වැටිලා. එළිමහනේ කෙනෙක් පෙනෙන්ට නෑ. කිසිම හාවක් හූවක් නෑ. මාහූරා හෙමින් හෙමින් ගල්ලෙනට එබිකම් කොළා. උගුර පෑදුවා.

“කෝ මේ…….. තාපසලැත්තෝ…….”

කුටිය ඇතුළට ඇවිදින් බැලුවා. එතකොට මාහූරා දැක්කේ බිම දිගා වී කෙඳිරි ගාමින් සිටින තාපසලැත්තන්ව යි.

“මයෙ දෙයියලැත්තෝ….! මේ තාපසලැත්තන්ට වුණ හදිය මොකක් ද? සිහි මුරුජ්ජා වෙලා වගෙයි ඇද බාලා ඉන්නේ….. මයෙ අප්පෝ……!”

මාහූරා හනිකට දියපොජ්ජක් මුවට වක්කොළා. තාපසලැත්තෝ අමාරුවෙන් කෙඳිරි ගානවා.

“ම්…. ම්….. මාමණ්ඩියේ……. මං….. මං…. වලපල්ලට යනවා. ඔව්…..! මං වලපල්ලට යනවා….. ඒක….. ඒක….. මට සනීපයි…….”

“හෑ….! තාපසලැත්තෝ…… උඹැහෙ දොඩන්නෙ හරුප! වලපල්ලට තොලොංචි කොරන්ඩ බෑ. කැලේ දෙයියලැත්තන්නේ කෝපයක් උඹැහෙට නෑ…..”

“අයියෝ……. මාමණ්ඩියේ….. මට තපස් කොරන්ඩ බැරුවා…… මයෙ හිස්මොලේ කුලප්පු වුණා…..”

“හෑ….! බොටකඳයා (අලියා) මුලිච්චි වුණාවත් ද? හතේරා (වළහා) ශරීර කූඩුවට බැල්ම හෙළුව ද?”

“නෑ…. නෑ….. එහෙම හදියක් වුණේ නෑ…. මට එ්ක කියන්ට තහංචියි. මං වලපල්ලට යනවෝ….!”

මාහූරාට මහා අනුකම්පාවක් ඇති වුණා. තාපසලැත්තන් වෙනුවෙන් ඕනෑම උපකාරයක් කිරීමට සූදානම් වුණා. අන්තිමේ දී තාපසලැත්තෝ කෙඳිරි ගාමින් වචන පිටකොළා.

“මාමණ්ඩියේ…. උඹැහෙ මට හදි කටින්නේ නෑ කියලා සපථ කොරාපං…. මං සත්ත කියඤ්ඤං…..”

මාහූරා තාපසලැත්තට සපථ කළා. තාපසලැත්තා මෙහෙම කිව්වා.

“මාමණ්ඩියේ….. උඹැහෙගෙ කැකුලී….. චාපා…. ඔව්….! චාපා…… ඒකි මයෙ මොළදණ්ඩ කැලැත්තුවා…. මට ඒකි නැතුව බෑ……!”

මාහූරට හීන්දාඩිය දැම්මා. කිසි කතාවක් නැතුව නැගිට්ටා. ගල්ලෙනෙන් එළියට පියමං කොළා. රුක්මුලක ඇන තියා ගත්තා. බොහෝ වෙලාවක් කල්පනා කොළා. දිග සුසුමක් පිට කොළා.

“හ්ම්….. අහවල් කජ්ජක් කොරන්ඩ ද? දැන් මේකා වැදි කොරටුවේ බින්න බහින්ඩයි එහෙනම්! චාපාට සප්පායම් වෙන්න මූකලානේ දඩයම් කටින්ට මේකට ඇහැක් වේවි ද?”

මාහූරා ආයෙමත් නැගිට්ටා. තාපසලැත්තන් ළඟට ගියා. එතනම ඇන තියා ගත්තා. තාපසලැත්තගේ අතින් අල්ලා ගත්තා. තාපසයා හොඳට ම බය වුණා.

“මේ….. තාපසලැත්තො…… බය ගන්ට කාරි නෑ…… උඹැහෙට මං හදිකටින්නේ නෑ. මයෙ කෙලිපොජ්ජ කරකාරෙට දෙඤ්ඤං. ඒ වුණාට ඒකිට සප්පායම් හදන්ට උඹැහෙට පුළුවන් ද? වනමූකලාන දෙබෑ කරාගෙන දඩයම් කටින්ට වෙනවා. සතා හීපාවා හක්කොලං කොරන ඉසව්ව ඉව අල්ලන්ට වෙනවා.”

තාපසලැත්තන්ගේ මලානික මුහුණෙන් හීන් හිනාවක් මතු වුණා. නොවැරදීම තමන්ට චාපා ලැබෙන බව ඔහුට තේරුණා. අමුතු පණක් ආවා වගේ දැනුණා.

“අනේ….. මාමණ්ඩියේ……. උඹ මයෙ දෙයියා……. මට දඩයම් කටින්ට බෑ. ඒ වුණාට උඹැහෙලා දඩයම් පොජ්ජට කැලෑ පොජ්ජේ මංගච්චද්දී මාත් එඤ්ඤං. තාපස පිරිකර කර තියාන ගව් ගණන් ගොහින් මට පුරුදුයි. එහෙව් එකේ දඩමස් පොදියක් කර තියාන මං එඤ්ඤං. වංගහාර ජනපදයට ගොහින් සිදාදියේ මොටාලත් එක්ක හෙට්ටු කොරන්ඩ මං දන්නවා. මං උඹැහැලට කහවණු ඇන්න එඤ්ඤං.”

ඔන්න ඔය විදිහටයි වැදි රැහේට මේ අමුත්තා එකතු වුණේ. දැන් මුන්දැගෙ අඹුව චාපා වුණා.

“හැබෑටම චාපා…. උඹැහෙ හරිම මනස්කාන්තයි. මයෙ පපු පොජ්ජ උඹැහෙට මං පූජා කොරනවා…… මං දඩමං ගොහින් පැල්කොටේට මංගච්චද්දි කැලෑ මල් නෙලාන එඤ්ඤං. මී පැණි, පැණි පුහුල්, දඹ ඇන්න එඤ්ඤං.”

“හැබෑටම මේ ඇත්තා ඇයි මට මෙච්චර ලෙංගතු?”

“චාපා……. උඹැහේ කඳු මුදුනක යොවුන් කිණිහිරි මල් ගහක් වගේ. ඒ මල් ගහේ ලස්සනට පිපුණු මල් වගේ උඹැහෙ හිනැහෙද්දි………. ඔව් චාපා. මල් පිපුණු දෙළුම් ගහක් තියෙනවා. ඒ වගේ ම දූපතක් මැද්දෙ ලස්සනට මල් පිපුණු පළොල් ගහක් තියෙනවා. උඹැහෙත් ඒ වගේ……”

චාපාට හරි සතුටුයි. ටික කලකින් මේ පවුලට අමුත්තෙක් ලැබුණා. දරු සිඟිත්තෙක්, පුතෙක් ලැබුණා. හැබැයි රැහේ වැද්දන්නේ තියෙන දරදඬු ගොරෝසු ගති මේ තාපසයට තිබුණෙ නෑ. තාමත් තාපසයෙක් වගේ. ටික කලක් යද්දි චාපාට මේක ඇල්ලුවේ නෑ. හැබැයි මේ උපක ආජීවකයාට චාපා ‘කලූ’ කියලා කිව්වේ ආදරයටයි. ඒ වුණාට වැදි ගතියක් නැති උපකට චාපා වරින්වර ඇනුම්පද කියනවා.

දිනක් දඩයම් පොජ්ජ කරතියාන පැල් කොටයට සේන්දු වෙද්දී චාපා දරු නැළවිලි නලවනවා.

“නාඬා ඉඳින් පැටිත්තෝ – උපකයාගෙ පැටිත්තෝ
ආජීවක පැටිත්තෝ – මයෙ තාපස පැටිත්තෝ
උඹ කවුදැයි ගෙනාවේ – නුඹෙ අප්පා ගෙනාවේ
මේ පිරිකර ගෙනාවේ – ගල්ලෙනටයි ගෙනාවේ
බත් ගෙඩියක් ගෙනාවේ – නුඹෙ අප්පට ගෙනාවේ…..”

“ඔය….. ඔය….. අනේ හැබෑට චාපා….. උඹැහේ තවමත් මට ඇනුම්පද කියනවනේ…. චාපා…… උඹැහෙ ගැන මයේ හිතේ ඇති ඇල්ම මං නැති කොරගන්නවා. මං ආයෙමත් මහණ වෙනවා. මේ නාලා ගමේ ආයෙ මං නවතී කියල ද හිතේ……? කැලේ තපස් කොරපු ශ‍්‍රමණයන්වත් අල්ලලා බැඳ ගත්තෙ මේ ස්ත‍්‍රී රූපෙ තමයි.”

“කලූ…… එහෙම කියන්න එපා! මාත් නෑදෑයොත් උඹැහෙට වසඟ වෙලයි ඉන්නේ….. ලෙංගතු හිතකට වහං වෙලා පෙම් කොරන්ඩ උඹැහෙට ආයෙත් පුළුවන් නොවැ.”

“හා…. හා…. ඇති ඇති! ඔය කතාවලින් හතරෙන් පංගුවක් කිව්වත් උඹැහෙට ඇලුණු මිනිහෙකුට නම් මහා ලොකු දෙයක් වගේ තියෙයි.”

“හා……! එතකොට කන්ද මුදුනේ පිපුණු කිනිහිරි මල් ගහ කෝ…..? ලස්සනට පිපුණු දෙළුම් මල් ගහ කෝ….? අර… අර… දූපත මැද්දෙ ලස්සනට පිපුණු පළොල් ගහ….? අමතකයි ද? රත්හඳුන් ගාපු සිරුරක් තියෙන මාව අත්හැර දාන්නේ කොහොම ද ඔයා…?”

“ඔව්! ලිහිණි වැද්දා ආසා කොළේ ලිහිණියාව හිරකොරලා තියා ගන්නයි. ඒකාට ඒක පුළුවන් වුණත් නුඹට නම් ඔය රූපෙන් මාව හිර කොරන්ඩ බෑ.”

උපක එළිපත්තෙන් වාඩි වුණා. ඈත ආකාහේ දෙස බලාන හිටියා. දිග සුසුමක් හෙළුවා….. චාපා ඇවිදින් ළඟින් ම වාඩි වුණා.

“ඔව්…… චාපා…. මට ලොකු වැරදීමක් වුණා….. මට දැන් මතක් වෙනවා….. හප්පේ…..! දැන් උන්නාන්සේ කොහේ ඉන්නව ද දන්නෙ නෑ. මයෙ හිතේ තාමත් උන්නාන්සෙ කියපු දේවල් දෝංකාර දෙනවා.”

චාපා කන්පෙති විදහාගත් මුවැත්තියක් වගේ අහගෙන හිටියා.

“ඔව්… චාපා…… මං එදා ඇහුවේ උන්නාන්සේගේ ගුරුවරයා කවුද කියලයි. එතකොට උන්නාන්සේ මට මෙහෙම කිව්වා.

“උපක, මට ගුරුවරයෙක් නෑ…… අවබෝධ කළ යුතු යමක් ඇද්ද, ඒ සියල්ලම මං අවබෝධ කළා. සියලු ආශාවන්ගෙන් මං නිදහස් වුණා. මේ දෙවියන් සහිත ලෝකයේ කවුරුත් මා හා සමාන නෑ….
රාග, ද්වේශ, මෝහවලින් මං නිදහස් වෙලයි ඉන්නේ. නිවී සිහිල් වූ සිතක් ඇතිවයි ඉන්නේ. මං සම්මා සම්බුදු කෙනෙක්. උපක, මං මේ කසී රට බාරාණසියට යන ගමන්. අවිදු අඳුර මැද මිය යන ලොවට නො මියෙන මග පවසන අමා දහම් බෙරය නාද කරන්ටයි මා යන්නේ”

අනේ මට උන්නාන්සේව මතක් වෙනවා… ඇත්ත…! උන්වහන්සේ අනන්තජින බව සත්තක් ම යි. අනේ.. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහෙද දන්නේ නෑ… මං උන්නාන්සේව හොයාගෙන යනවා…”

උපක එකවර ම හිස අත් බැඳ කඳුළු සලන්නට පටන් ගත්තා. චාපා බියට පත්වුණා. තමාගේ ස්වාමීයා තමාව හැර යනවාට ඈ කැමති වුණේ නෑ. ඈ දොඩමළු වුණා.

“ඒ වුණාට කලූ…. මේ පුතා ලැබුණේ උඹැහෙ නිසයි. පුතෙක් ඉන්න අප්පා කෙනෙක් කොහොම ද අම්මා අත් හරින්නේ….?”

“චාපා නුවණැති මිනිස්සු දරුවන්, දේපල, වස්තුව, නෑදෑයන් අත්හැරලා යන්නේ හස්ති රාජයෙක් දම්වැල් කඩාගෙන යනවා වගෙයි. එහෙම ගිහින් මහණ වෙනවා.”

එතකොට චාපාට කෙන්ති ගියා. චාපා මෙහෙම කිව්වා.

“හා…! හා…! එහෙම ද? එතකොට මේ කැකුලා….? මං මේකව පොල්ලකින් කොටලා තලනවා. එහෙමත් නැත්නම් පිහියකින් ඇනලා හදි කටිනවා. පොළොවේ ගහලා දානවා. එතකොට උඹැහේ පුත‍්‍ර සෝකයෙන් මොළදණ්ඩ ගිනි අරගෙන ඇවිළි ඇවිළී ඉඳීවී. ඔය ගමන යන්ට ලැබෙන්නේ නෑ.”

“මේ… චාපා… ළාමක ගැහැනියේ… උඹැහෙ දැන ගනින්! ඔහොම නොවෙයි. මේ කැකුලව හිවල්ලුන්ට දුන්නත්, සුනඛයන්ට දුන්නත් මගේ ගමන නවත්තන්ට බෑ. මේ කොලු පැංචෙක් නිසා ආයෙමත් මං පැල්කොටේක හිරවෙයි කියල ද උඹැහෙ හිතන්නේ?”

කොච්චර වුණත් උපක වරින්වර භාග්‍යවතුන් වහන්සේ ගැන තොරතුරු කියද්දී චාපගේ හිතේ අමුතු සතුටක් ඇතිවුණා. ඈ දෑස් පියාගෙන නිසොල්මනේ උපකට සවන් දුන් අවස්ථා තියෙනවා. එවන් වෙලාවට ඈ අමුතු ම ලෝකයකට යනවා. බුදුවරුන්ගේ, රහතුන්ගේ ලෝකයට සිතුවිලිවලින්වත් යන්න ඇත්නම් කොතරම් අපූරු ද!
තම ස්වාමීයාව සිරකොට තැබිය නොහැකි බව චාපාට වැටහුණා. චාපා මොළොක් බසින් උපකට මෙහෙම කිව්වා.

“එතකොට කලූ, මේ ඔක්කෝම අත්හැරලා උඹැහෙ කොහේට ද හක්කොලං කොරන්නේ? මොකුත් නගරයක්, රාජ්ජයක් තියෙනවා ද? ගමක් පළාතක් තියෙනවා ද?”

“චාපා… ඉස්සර නම් අපි ශ‍්‍රමණයන් කියලා හිතාන හිටියා. තවුස් පිරිකර කද බැඳන් ගම් ගානේ ගියා. නගර ගානේ ගියා. ජම්බුද්දීපේ පුරාවට හක්කොලං කොරා. කලින් වතාවේ මට ආරංචි වුණේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා ගංතෙර වැඩ ඉන්නවා කියලයි. ඔව්! උන්නාන්සේ ම යි මාගේ ශාස්තෘන් වහන්සේ.”

“කලූ… ලෝකනාථයන් වහන්සේ ගැන අහන්ට මාත් ආසයි. උන්නාන්සේගේ රැහේට යන්ට මාත් ලෙන්ගතුයි. උඹැහෙ එහේ ගියොත් මං වෙනුවෙන් ඒ අනුත්තර මුනිඳාණන්ව වන්දනා කරන්ට ඕන. උන්වහන්සේව පැදකුණු කොට වන්දනා කොරලා ඒ පින මට දෙන්ට ඕන.”

මිටින් අත්හැරුණු කුරුල්ලෙක් වගේ උපක පිටත්වෙලා ගියා. නේරංජරා ගංතෙර භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. අමා දහම් දෙසන ඒ බුදුරජාණන් වහන්සේව වන්දනා කොට චාපාට පිං දුන්නා. උපක භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් වුණා. චාපාට මේ ගැන ආරංචි වුණා. ඈට හරි සතුටුයි. දැන් පුතත් ලොකුයි. චාපා පුතත් සමඟ බුදුරජාණන් වහන්සේව හොයාගෙන ආවා.

ඔව්! සිඟිත්තා ශ‍්‍රමණයන් වහන්සේලා ළඟ පැවිදි වුණා. චාපා භික්‍ෂුණීන් ළඟ පැවිදි වුණා. මහමූකලානයක් මැද වැදි ගම්මානයක ලස්සන වැදි කෙල්ලක් ධර්මය කරා ගියේ ඔන්න ඔය විදිහේ හරිම අපූරු ලෙසටයි. අම්මයි, අප්පයි, කැකුලයි තුන් දෙනා ම මේ උතුම් ගෞතම සාසනයේ අරහත්වයට පත්වෙන්න වාසනාව ලැබුවා. සංසාරෙන් එතෙර වුණා. අමා නිවන අවබෝධ කළා.

(ථේරී ගාථාවල සඳහන් චාපා තෙරණියගේ ගාථා ඇසුරෙනි)

රචනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.