මානව සමාජය වරින් වර විවිධ යුගයන්ට මුහුණ දෙයි. විවිධ වෙනස්වීම් වලට බඳුන් වෙයි. එමෙන් ම මිනිසා සතුව ඇති බුද්ධිමය සම්පත වන මනස මෙහෙය වීමේ හැකියාව ද වරින් වර විපර්යාසයන්ට බඳුන් වෙයි.

අතීත මිනිසා හට දැන් බඳු අහස් යානා නො තිබුණි. පරිගණක හා සෙලියුලර් තාක්ෂණය නො තිබුණි. චන්ද්‍රිකා ඔස්සේ තොරතුරු තාක්ෂණය දියුණු කොට නො තිබුණි. මෙතරම් අවි ගබඩා ද නො තිබුණි. පැයෙන් පැය ප‍්‍රවෘත්ති විකාශන නො තිබුණි. විදුලි බල නො තිබුණි. නවීන තාක්ෂණයෙන් යුතු යාන වාහන නො තිබුණි. වත්මන් මිනිසා හට ආනුභාව පෙන්වන ඇමෙරිකාව ද නො තිබුණි. සකල කලා වල්ලභ ඉංග‍්‍රීසිය ද නො තිබුණි. කෘතිම පොහොර සහ රසායන බෙහෙත් ද නො තිබුණි.

වත්මන් මිනිසා භුක්ති විඳින බොහෝ පහසුකම් අතීත මිනිසාට නො තිබුණි. එකල ජීවත් වූ මිනිසාට මෙවැනි පරිසරයක් ගොඩනගා ගත නො හැකි වූයේ අනුවණකම නිසා ද? නැතහොත් කිසියම් ජඩ බවක් නිසා ද? නැතහොත් යම් මිත්‍යාවක වෙලී සිටි නිසා ද? නැතහොත් ඔවුන් අතරේ වීමංසන බුද්ධිය නො තිබුණ නිසා ද? නැතහොත් ඔවුන් කිසියම් අකර්මණ්‍ය හා අක‍්‍රීයභාවයකට පත්ව සිටි නිසා ද? සැබැවින් ම ඔවුන් මෝඩ ද?

මින් සියවස් විසිපහකට පෙර තිබූ ලෝකය ගෝලීයකරණයකට හසු නො වී තිබූ බව සැබෑ ය. වත්මන් තාක්ෂණික ආනුභාවය නො තිබූ බවත් සැබෑ ය. ගමන් පහසුව නො තිබුණු එකල මංපහරන සොර මුල් තැන තැන සිටියහ. රූබර ලඳුන් පැහැර ගන්නා ධූර්තයෝ බලවත්ව සිටියහ. ජනපද කල්‍යාණිවරු කහවණු අතර වැජඹී සිටියහ. මුහුදු රැළි අතරේ මංකොල්ලකරුවෝ සැඟවී සිටියහ. මහා පර්වත, සුවිශාල වෘක්ෂ, නදී, කඳු රැළි ඔවුන් ගේ දෙවිවරු වූහ. සූර්යයා සඳු රැස් විහිදුවන විට ඔවුන් දුටුවේ දේවානුභාවය යි. වළාකුළු යනු දෙවියන් විසින් මලූ පුරවා අහසේ රැඳවූ දිය බඳුන් විය. දේවයාතිකා වලින් පසු ඒවා ලිහා දැමෙති.

එකල මිනිසුන් ගේ ලෝකය ඉතා පුදුමාකාර විය. නා ලොව නාගයින් සමඟ ඔවුහු කතා බස් කළහ. පේ‍්‍රතයින් ඔවුන් ඉදිරියේ පෙනී සිට පින් ඉල්ලූහ. දෙවිවරු පැමිණ ඔවුන්ට උපදෙස් දුන්හ. නිරය ගැන අසා ඔවුහු බියෙන් සලිත වූහ. ඉපදෙන මැරෙන ජීවිතය ඔවුනට පුදුමාකාර ප‍්‍රහේලිකාවක් විය. වත්මන් මිනිසාහට මෙය සිනහවට කරුණක් නො වේද? වත්මන් මිනිසා ගේ ඊනියා බුද්ධිමත් බව එතරම් ම ආනුභාව සම්පන්න ද?

නූතන මිනිසා කොතෙක් වහසි බස් දෙඩුව ද එකල මිනිසාට සම විය නො හැකිය. ඒ යුගයේ මිනිසා තුළ එක්තරා සුවිශේෂී මනෝභාවයක් ඉස්මතු වී තිබුණි. එනම් සත්‍යය අවබෝධ කිරීමේ ආශාවයි. මෙම ආශාව ඔවුන් තුළ පැන නැගුණේ ජීවිතය හා ලෝකය පිළිබඳව ඔවුන් ගේ දැක්ම කිසියම් ප‍්‍රසාරණයකට ලක් වීම නිසා ය. ඔවුහු සත්‍යාවබෝධය උදෙසා වශීකෘතව සිටියහ.

එකල මිනිසා සත්‍යය සොයා අබිනික්මන් කළහ. වනගිරි දුදුළු හරහා චාරිකා කළහ. කෙස් රැවුල් ඉවත් කොට, සඟල සිවුරු දරා, තපස් කළහ. ඔවුනට ගෘහ වාසය ක්ලේශ පරිදාහයේ උත්පත්ති ස්ථානය විය. පැවිදි වී විරාගී චරණයේ යෙදීම අභ්‍යාවකාශය බඳු විය. ඔවුහු ඉඳුරන් පාලනය කළහ. බ‍්‍රහ්මචාරී වූහ. කාමාශක්තව හිරිඔතප් බිඳ ගැනීම ඔවුනට හිරිකිත කරුණෙකි. සත්‍යාවබෝධය උදෙසා ඕනෑම කටුක ජීවිතයකට ඔවුහු සැදී පැහැදී සිටියහ. රාජ සුකුමාල යයෟවනයෝ අබිනික්මන් කළහ. ශ‍්‍රමණයෝ වූහ. වනගත අසපු වල බවුන් වඩන ඔවුන් ගේ කතාබහ තුළ යුද්ධය නැත. උද්ධමනය නැත. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නැත. නළු නිළියන් නැත. රසවත් ආහාර පාන නැත. කසී සළු නැත. ඕපාදූප නැත. අනුන්ට ගැරහීම නැත. එකිනෙකා පරයා යන උමතුවක් නැත.

එහෙත් ඔවුහු මේ සිත පිළිබඳව විස්මයට පත්ව සිටියහ. ජීවිතය හා මරණය විසඳා ගත නො හැකි ප‍්‍රහේලිකාවක් විය. මනුෂ්‍යයා මෙන් ම අන් සත්වයා ද, යම් කිසි දුක්ඛ දායක ගමනක පැටලී සිටින බව ඔවුහු දුටහ. සැප දුක අබියස දෝලනය වන ජීවිතය මෙහෙයවන චාලක ශක්තිය කුමක්දැයි ඔවුහු විමසන්නට වූහ. සිත දමනය කිරීමත්, බවුන් වැඞීමත්, සමාධිය උපදවා ගැනීමත් ඔවුන් හට ආනන්දයක් විය.

එය වනාහී සත්‍යය අවබෝධ කිරීමේ යුගය යි. මානව වංශ කතාවේ මෙතෙක් සනිටුහන් වූ ස්වර්ණමය යුගය යි. මේ යුගයෙන් ඒ යුගය වෙනස් වන්නේ ඔවුන් ලබාගත් සත්‍යාවබෝධය නිසා ය.

මේ යුගයේ මිනිසා හට කාමය වනාහී සංසිඳුවාගත නො හැකි පිපාසයකි. වෛරය වනාහී නිවා ගත නො හැකි ගින්නකි. ඊර්ෂ්‍යාව වනාහී සුව කළ නො හැකි රෝගයකි. මානය වනාහී බිම හෙලාගත නොහැකි ලෙස ඔසවා ගත් කොඩියකි. මුලාව වනාහී බිඳ ගත නො හැකි අඳුරෙකි. එකල මිනිසා තුළ ද අතරින් පතර මෙවැනි දුබලතා දක්නට ලැබුන ද, සත්‍යාවබෝධ කිරීමෙහිලා ඔවුන් දැක්වූ විස්මිත කුසලතාව අදහාගත නො හැකි තරම් ය.

සත්‍යාවබෝධය යනු කුමක් ද? එය ලබා දිය හැකි තැනැත්තා කවරහු ද? සත්‍යාවබෝධය ලොවට ලබා දිය හැකි තැනැත්තා හඳුනාගත හැක්කේ කෙසේ ද? ඔහු තුළ විශේෂ සලකුණු තිබේ ද? ඔහු මිනිස් ප‍්‍රජාව තුළ දිස්වන්නේ කෙදිනක ද? එදා දඹදිව් තලයේ නුවණැති මිනිසුන් ගේ දෑස් අබියස සක්මන් කරන ලද්දේ අපූර්ව ඡායාවකි. එනම් ‘බුද්ධ’ නම් වූ ආශ්චර්යවත් මනුෂ්‍යයෙකු දකින්නට ඇති ප‍්‍රාර්ථනය යි. සත්‍යය මුදා හරින එබඳු අසිරිමත් මිනිසෙකු ගේ ආගමනය ඔවුන් ගේ දෛනික කතිකාවත විය.

සැබැවින් ම ඒ මිනිසාට ඊනියා විද්‍යාගාර නො තිබුණි. විද්‍යා උපකරණ නො තිබුණි. විද්‍යා ප‍්‍රබන්ධ නො තිබුණි. එහෙත් ඔවුන් පැතූ දෙය වන සත්‍යාවබෝධය ලැබූ අසිරිමත් මිනිසා දැකීමේ ආශාව හුදෙක් මිත්‍යා සංකල්පයක් නො වීය. එය යථාර්ථයක් ම විය. ඔවුන් ගේ දෑස් අබියස එය ප‍්‍රත්‍යක්ෂයක් විය. එය නෙත් සිත් පුරා විඳගන්නට ඔවුහු සමත් වූහ.

මෙම අසිරිමත් මනුෂ්‍යයා විසින් ගෙන එන ලද සත්‍යයේ සංදේශය දඹදිව් තලය පුරා විසිර ගියේ මල් වර්ෂාවක් පරිද්දෙනි. බුද්ධිමත් මිනිසුන් ගේ නෙත් සිත් පුබුදුවා සත්‍යාවබෝධය කරා ගෙන යා හැකි ඒ සුවිශේෂී මනුෂ්‍යරත්නය දැන් ඔවුන් ඉදිරියේ සක්මන් කරයි. වාඩි වී සිටියි. කතා බස් කරයි. ඔවුන් ගේ නිවෙස් වලට පිඬු සිඟා යයි. ඔවුන්ට සත්‍යාවබෝධයේ මං පෙත් විවර කරවන අසිරිමත් දහම් දෙසයි.

හේ වනාහී අමුතු ම සිතක් ඇති කෙනෙකි. එම සිත ලොව කිසිදු උපකරණයකින් මිණිය නො හැකි ය. එම සිතෙහි රාගය නැත. කාමාශාව නැත. රස තෘෂ්ණාව නැත. ද්වේශය නැත. පළිගැනීම නැත. වෛරය නැත. භය නැත. මුලාව නැත. තැතිගැනීම නැත. සැක සංකා ද නැත. ලොව කිසිදු විෂයක, කිසිදු අධ්‍යාපනික ආයතනයක, කිසිදු සමාජ ස්ථරයක එතරම් පුළුල්ව සාකච්ඡාවට බඳුන් නොවූ විරූ අපූර්ව වූ පරිපූර්ණ වූ ලෝක දර්ශනයක් එතුමා සතුව ඇත. එතුමන් ගේ දෛනික ජීවිතය, දේශනා ක‍්‍රම, සමාජ සන්නිවේදනය, සදාචාරාත්මක විවරණය හා ප‍්‍රායෝගික ජීවිත හැසිරවීම ඉතා අසිරිමත් විය. හේ වනාහී ‘බුද්ධ’ නම් විය. ‘සම්මා සම්බුද්ධ’ නම් විය.

සත්‍යාවබෝධය නම් වූ සුවිශේෂී අරමුණට වශීකෘත වූ ජනතාව මේ බුද්ධ නම් වූ ආශ්චර්යවත් මනුෂ්‍යරත්නයේ වාග් චාතුර්යයට, තර්ක ප‍්‍රතිභානයට, විස්මිත දේශනා විලාශයට හා පවිත‍්‍ර ජීවිතයට අදහා ගත නො හැකි විස්මයකින් ළං වී සිටියහ. ඔවුන් ගේ ජීවිතය එළිය කළ හිරු මඬල මේ අසිරිමත් මනුෂ්‍යයා ය. බුද්ධිමය කාහල නාදයක් බඳු සත්‍යය අවබෝධ කිරීමේ හඬ විසින් මානව වංශ කතාවේ ආධ්‍යාත්මික විප්ලවය මුදුන්පත් කරන ලදී. සාම්ප‍්‍රදායික මතිමතාන්තර හා ආදානග‍්‍රාහී පවුරු පදනම් දෙදරා ගිය නමුත්, සත්‍යය අවබෝධ කළ මුනිවරු මහ පොළොව මත පා තබා වඩින්නට පටන් ගත්හ.

එකල සිටි මනුෂ්‍යයා හට බුදුවරයෙකු ගේ මාර්ගෝපදේශකත්වය යටතේ සත්‍යාවබෝධ කිරීමේ වාසනාව උදාවූයේ ඒ මිනිසුන් සතුව තිබුණු කිසියම් විශේෂතා නිසා නො වේද? එනම් සිහි නුවණ දියුණු කර ගැනීම, සිත – කය – වචනය සදාචාරාත්මක පදනමක් තුළ හසුරුවා ගැනීම, ඉන්ද්‍රිය දමනය, පාපී මනෝභාවයන් බැහැර කිරීමේ වීර්යය, චිත්ත සමාධිය, ධ්‍යාන ඇති කර ගැනීම ආදිය ඔවුහු නො පසුබටව කරන්නට සමත් වූහ. එනිසා ම ඔවුහු සත්‍යාවබෝධ කළහ. ජීවිතය හා මරණය පිළිබඳව රැව් දුන් සියළු සැක සංකා, මතිමතාන්තර, ප‍්‍රහේලිකා සදහට ම විසඳා ගත්හ. සතුට සොම්නස පිරි නිකෙලෙස් මනසක ඇති වීතරාගී සුන්දරත්වය අත්විඳගන්නට ඔවුහු සමත් වූහ.

බාහිර උපකරණ වලින් තොරව ඔවුහු අහසේ ගමන් කළාහු ය. දෙව්ලොව, බඹලොව චාරිකාවේ වැඩියාහු ය. සත්‍යාවබෝධය පිළිබඳව සුන්දර සංදේශය දෙව්ලොවට ද රැගෙන ගියහ. ඔවුන් ගේ ගමන් වලට බාධා කරන්නට හිමාල පර්වතයට හෝ ගංඟා නදියට හෝ රැළි විසුරුවන මහ සයුරට හෝ නො හැකි විය. පෙනෙන නො පෙනෙන සියලූ දෙය ඔවුහු ජයගත්හ. ඔවුන් ඒ ජයග‍්‍රහණය ලබන ලද්දේ අවි බලයෙන් නො වේ. යටත්විජිත වාදයෙන් ද නො වේ. ආර්ථික ප‍්‍රහාර වලින් ද නො වේ. සන්නිවේදන කුමන්ත‍්‍රණ වලින් ද නොවේ. භාෂා විපරිණාමයකින් ද නො වේ. එක ම එක් සුවිශේෂී කෙනෙකුන් ගේ අතිශයින් ම නිවැරදි වූ මාර්ගෝපදේශකත්වයේ මහිමය නිසා ය. එනම් මෙතෙක් ලොව පහළ වූ ආශ්චර්යවත් ම මනුෂ්‍ය රත්නය වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා ය.

ඒ යුගයේ මිනිසුන් ලබාගත් ඒ විස්මිත කුසලතා සපිරි ඤාණය අද මනුෂ්‍යයා හට ලබා ගත නො හැක්කේ මන්ද? අද මනුෂ්‍යයා තුළ මුල්බැස අතුරිකිලි ලියලා වැඞී ඇති අහංකාර පාරට්ටුවත්, දුස්සීලකමත්, දෙබිඩි ජීවිතයත්, පුහු මාන්නයත්, ආත්ම වංචාවත්, අනුකම්පා විරහිත ගැරහීමත්, සත්‍යයට ඇති අකැමැත්තත්, ඊර්ෂ්‍යාවත්, එකිනෙකාගේ දියුණුව දකින්නට ඇති අකැමැත්තත්, ජාති – කුල භේදයත් ප‍්‍රහාණය කළ හැකි විද්‍යාත්මක උපකරණයක් ඊනියා විද්‍යාඥයින් විසින් නොබෝ දිනකින් සොයා ගනු ලබන්නේ යැයි කිවහැකි ජගතෙක් ලොව සිටිත් ද? එසේ නම් නිහතමානී බුද්ධිමත් මනුෂ්‍යයා හට ඉතා සුළුවෙන් හෝ වේවා ආධ්‍යාත්මික වටිනාකමක් ලබාගැනීමට නම් ලෝ සතුන් ගේ සත්‍යාවබෝධය උදෙසා ලොව පහළ වූ එක ම ශාස්තෘන් වහන්සේ වන ඒ ගෞතම බුදුරජුන් ගේ දෙසුම් සිත පහදවා ගෙන කියවිය යුතුය. එවිට ජලප‍්‍රසාද මාණික්‍යය බොර දියක දැමූ කල්හි ඒ දිය මැනවින් පැහැදී යන්නා සේ ඒ බුද්ධිමත් මනුෂ්‍යයා ගේ සිත ද, අතිශයින් ම පැහැදී යනු ඇත. ගෞතම බුදුරජුන් ගේ ධර්මය තුළින් කෙනෙකු ගේ සිත එසේ පහදින්නේ නම්, එය වනාහී මෙකල ජීවත් වන මනුෂ්‍යයන් ගේ බුද්ධිමත් බවේ සලකුණ යි !

මෙසේ බුද්ධිමත් දෙව් මිනිසුන්ගේ ස්වර්ණමය යුගය උදා කළ විස්මිත යුග පුරුෂයාණන් වනාහී අන් කිසිවෙකුත් නොව ඒ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මින් වසර 2635 කට පෙර ලොවෙහි උපන් සේක. වසර 2600 කට පෙර ශ‍්‍රී සම්බුද්ධත්වයට පත් වූ සේක. මින් වසර 2600 කට පෙර ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කළ සේක. මින් වසර 2600 කට පෙර ආර්ය සංඝයා බිහි කළ සේක. මින් වසර 2555 කට පෙර පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ශ‍්‍රී සම්බුද්ධත්වය සමරන අප විසින් කළ යුත්තේ ඒ අසිරිමත් සම්බුද්ධත්වයෙන් බිඳක් හෝ තේරුම් ගන්නට වෑයම් කිරීමයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ