සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතය සුවපත් කිරීම ගැනයි. රැකියාවක් පිණිස අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් ආශ්වාදය ලැබීම ආදී දේ ගැන අපි කෙතෙකුත් වෙහෙසෙමින් සිටිමු. ගිහි පැවිදි සියලූ දෙනා ම පාහේ කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. මේ නිසා බොහෝ දෙනෙක් සසරක් ගැන නොදනිති. ඒ හේතුව නිසාම ලෞකික සැපය උදෙසා බොහෝ දෙනෙක් කයින් පව් රැස් කරත්, වචනයෙන් පව් රැස් කරත්, මනසින් පව් රැස් කරත්. මෙසේ කයින්, වචනයෙන් හා මනසින් පව් රැස් කොට මරණින් මතු ඇතැමෙක් නිරයේ උපදිත්. ඇතැමෙක් තිරිසන් ලෝකයේ උපදිත්. ඇතැමෙක් පේ‍්‍රත ලෝකයේ උපදිත්. අපා දුකට පත්වෙත්.

සතර අපායට වැටෙන සුළු ජීවිතයක් බොහෝ දෙනෙකුට උරුම වී තිබෙන්නේ සසරේ බිය නොදැක, අකුසල් රැස් කිරීම නිසා ය. කුසල් රැස් කිරීමෙහි ප‍්‍රමාදවීම නිසා ය. ලෞකික ජීවිතය හෙවත් උපතත්, මරණයත් අතර පවතින මේ ජීවිතය ගැන පමණක් පුන පුනා වර්ණනා කරන නිසා ය. මේ පුහු වර්ණනාවට නුවණ මඳ ජනතාව හසුවෙන්නේ කෙමනක් ඇතුළට රිංගා පීනන මාළුන් රැසක් පරිද්දෙනි.

එහෙත් මහා කාරුණික වූ අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළේ ඊට හාත්පසින් වෙනස් කරුණකි. උන්වහන්සේ සසර ගමනක ඇති භයානක ස්වභාවය පුන පුනා පෙන්වා දුන් සේක. උන්වහන්සේට අවශ්‍යව තිබුණේ සසරේ ඇති බියජනක ස්වභාවය ගැන අප දැනුවත් කොට සසර දුකින් අපව නිදහස් කිරීමට ය. සාමාන්‍ය ජනතාව සසරට ඇලූම් කරමින් සිටින්නේ නොදැනුවත්කම නිසා බව උන්වහන්සේ මැනැවින් ම දන්නා සේක. වරක් උන්වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රයට ගිනි ඇවිලූණහොත්, හිස හෝ ගිනි ගත්තොත් එවිට කුමක් කළ යුතුද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇඳ සිටින වස්ත‍්‍රයට හෝ හිසට ගිනි ඇවිලූනහොත් ඒ ගින්න නිවා දමන්නට අධික උත්සාහයක්, බලවත් වීරියක්, බලවත් කැපවීමක් ගත යුතුය. ගින්න නොපැතිරීම පිණිස බලවත් සිහියක්, නුවණක් උපදවා ගත යුතුය.”

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රය හෝ හිස හෝ ගිනි ගත් කෙනෙක් එය නොසලකා, සිහි නොකර, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි උත්සාහ කළ යුත්තේ. බලවත් ලෙස කැපවිය යුත්තේ. සිහියත්, නුවණත් උපදවා ගත යුත්තේ.”

– චේල සූත‍්‍රය (ස.නි. 05) –

මේ අයුරින් අතිශයින් ම බලවත් උත්සාහයකින් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස කැප විය යුතු යයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ මක් නිසාද? මේ සසර ගමන ඉතා භයානක බව උන්වහන්සේ දන්නා නිසා ම ය. වරක් උන්වහන්සේ තම නිය සිළ මතට පස් ස්වල්පයක් නගා ගත් සේක. අනතුරුව භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, මා නිය සිළ මත තිබෙන මේ පස් ද වැඩි, මහ පොළොවේ පස් ද?”

එවිට භික්ෂූන් පිළිතුරු දුන්නේ මහ පොළොවේ පස් ඉතා වැඩි බවත්, නිය සිළ මත තිබෙන පස්වලට වඩා කෝටි ප‍්‍රකෝටි වාරයකට වඩා විශාල පස් තොගයක් මහ පොළොවේ තිබෙන බවයි. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයෙන් ම මිනිසුන් කෙරෙන් චුත වන මිනිසුන් ගෙන් යළිත් මිනිස් ලොව උපදින්නේ මේ නිය සිළ මත තැබූ පස් ස්වල්පය මෙන් ඉතා ම ටික දෙනෙකි. එහෙත් මේ මහා පොළොවේ පස් වැනි අති විශාල පිරිසක් මිනිස් ලොවින් චුත වී නිරයේ උපදිති. මිනිස් ලොවින් චුත වී පේ‍්‍රත ලොව උපදිති. මිනිස් ලොවින් චුත වී අපායේ ම උපදිති. යම් කෙනෙක් මිනිස් ලොවින් චුත වී යළිත් මිනිස් ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ඉතා ම ස්වල්පයයි. යම් කෙනේක මිනිස් ලොවින් චුත වී දෙව්ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ද ඉතා ම ස්වල්පයකි.”

– පඤ්චගති පෙය්‍යාල වර්ගය (ස.නි. 05) –

මේ භයානක අනතුරින් අත් මිදීමේ අතිශය දුර්ලභ මොහොත අප ලබා තිබේ. එනම් මිනිස් ජීවිතයක් අප ලබා තිබේ. බුදු සසුනක් අපට මුණ ගැසී තිබේ. මේ අවස්ථාව අපට අහිමි වී ගියහොත් අප කොයි කොදෙව්වේ උපදී දැයි අපට සිතාගත නොහැකිය. යම් හෙයකින් අප අපා දුකට වැටුණොත් උපන් ජාතියේ අනුහසින් හෝ මිල මුදලේ අනුහසින් හෝ අපට ඒ අපා දුකින් නිදහස් විය නොහැකිය. ඒ නිසා අපි කවුරුත් සසරේ ඇති භයානක ස්වභාවය ගැන දැනුවත්ව සිටිය යුතු වෙමු.

මේ ගත කරන සුළු කලට පවා අපට මිතුරුව සිටින අය ජන්මාන්තර සතුරෝ වෙති. අපෙන් ජාතිජාතිත් පළිගන්නවා යැයි කියන උදවිය පවා මුණ ගැසේ. නොයෙක් කලකෝලාහලවල සතුරු කරදරවල පැටලෙන්නට සිදුවේ. එමෙන් ම අපට බලවත්ව ආදරය කරන මිත‍්‍ර වන උදවිය ද මුණ ගැසේ. අපගේ ජීවිතයේ අවසානය ළං වන විට අපට සතුරු කරන පිරිස් ද අපට හිත මිතුරු පිරිස ද අපගේ සසර ගමනට පෙළ ගැසී සිටිත්. යළි යළිත් ඔවුනොවුන් මුණ ගැසීමටත්, දුක් දොම්නස් විඳීමටත් එය හේතු වේ. එහෙත් ජීවිතය ගැන අවබෝධයක් නොමැති උදවිය භයානක සංසාරයේ ම යළි යළිත් ඉපදීම ප‍්‍රාර්ථනා කරත්.

මේ සා දීර්ඝ වූ ඝෝරතර වූ සසර ගමනක අප පැටලී සිටින්නේ ඒ නිසා ම ය. එගොඩ සිට මෙගොඩට පැමිණීමේ මඟක් නොදකින්නේ ද ඒ නිසා ම ය. චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කර ගත හැකි මිනිස් ජීවිතය අවසන් වන විට බොහෝ දෙනෙක් උපත ලබන්නේ අඳුරින් අඳුරට ම යන ලොවක ය.

තෙරුවන් සරණ ගිය, අපි කවුරුත් ගෞතම බුදුරජුන්ගේ ශ‍්‍රාවකයන් බව නිතර නිතර සිහිපත් කළ යුතු වෙමු. ගෞතම බුදු සමිඳුන් පෙන්වා වදාළ ධර්මයට අනුව ජීවිතය දෙස බැලීමේ හැකියාව දියුණු කරගත යුතුය. ජීවිතයේ අභ්‍යන්තරයේ සිදුවන කුසල් අකුසල් සකස් වීමේ ස්වභාවය අප හඳුනාගත යුතුය. අකුසල් ප‍්‍රහාණය කිරීමට අවංක උත්සාහයක් දැරිය යුතුය. තමන් තමන්ට අවංකවීම කරගත යුත්තේ මහත් උත්සාහයෙන් ම ය. ඔබට ද සතර අපායේ වැටෙමින් ගමන් කළ යුතු මේ භයානක සංසාර ගමනින් අත් මිදීම පිණිස උතුම් චතුරාර්ය සත්‍යය මේ ගෞතම බුදු සසුනේ ම අවබෝධ වේවා!

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –