“කවදා මිදෙමුද හඬන වැළපෙන ලොවෙන්…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් හිටියා. ඔවුන්ගේ ගබඩාවේ හතළිස් කෝටියක රන් පුරවා තිබුණා. දිනක් ඒ සිටුතුමා ගබඩාව හැර බලද්දී අර රන් සියල්ල අතුරුදහන් වෙලා තිබුණා. ඒ වෙනුවට තිබුණේ අඟුරු කැබලි විතරයි. සිටුතුමා සිහිසන් නැතුව වැටුණා. කෑම බීම අත්හැරියා. ඇඳේ වැටුණා. සිටු නිවසේ සියලු දෙනාම හැඬූ කඳුලින් කල් ගෙව්වා.

මේ සිටු පවුලට හිතවත් එක්තරා පුද්ගලයෙක් ඇවිදින් ඔවුන්ට සැනසිලි බස් කිව්වා. අනුකම්පාව දැක්කුවා.

“යහළුවා…. හැඬීමෙන් පලක් නෑ. සමහරුන්ගේ වස්තුවට ඔහොම වෙනවා. ඉතින් නොකා නොබී ඇඳේ වැතිරිලා සිටි පමණින් ගබඩාවට අලුතින් රන් පිරෙන්නෙ නෑ. මං උපායක් කියන්නම්. මේ අඟුරු ගොඩ ගැල්වල පටවාගෙන අපි වෙළඳපොලට ගෙන යමු. ගොඩ ගසාගෙන විකුණන්න තියමු.

එතකොට මිනිසුන් ඇවිදින් ඇහුවොත් ‘පිස්සුද නුඹලට? අනිත් හැමෝම කෑම්බීම්, තෙල් බෙහෙත්, ඇඳුම් පැළඳුම්, කැවුම් කොකිස් විකුණද්දී මේ මොනවද විකුණන්නේ? කවුරුවත් හිතාවිද මේ අඟුරු මිලට ගන්න’ එහෙම කිව්වොත් ඔබ කියන්න. ‘අනේ අපිට තියෙන දෙයක් නෙව අපි විකුණන්නේ’ කියලා.

හැබැයි, කවුරුහරි ඇවිත් ඇහුවොත් ‘හප්පේ…! මේ මොකද? රත්තරන් විකුණන්නේ? ඇයි රත්තරන් එපා වෙලාද?’ කියලා, එතකොට අහන්න ‘කොහේ තියෙන රත්තරන්ද?’ කියලා. එතකොට එයා කියාවි. ‘ඇයි මේ තියෙන්නේ’ කියලා. එතකොට ඔබ කියන්න ‘අතට අරන් දෙන්න බලන්න’ කියලා. ඒ කෙනා අත තිබ්බ ගමන් ඔය අඟුරු රත්තරන් වේවි.

හැබැයි ඒ රත්තරන් පෙන්නා දෙන්නේ කුමාරිකාවක් නම් පුතෙකුට බන්දලා දෙන්න. කුමාරයෙක් නම් දියණියකට බන්දලා දෙන්න.”

“ඒ අදහස නම් යසයි” කියලා සිටුතුමා සිනහ වෙවී නැගිට්ටා. සේවකයන් කැඳවාගෙන ගැල්වල අර අඟුරු පටවා ගත්තා. පොළට අරන් ගියා. දැන් අර අඟුරු පොලේ ගොඩගහලා තියෙනවා. මිනිස්සු එක එක ප්‍රශ්න අහනවා. ඒවට ගැලපෙන උත්තර සිටුතුමා දෙනවා.

එතැනට ලස්සන කුමාරිකාවක් ආවා. ඈ හරි කෙට්ටුයි. හැබැයි හරි ලස්සනයි. ඈ සිටිය සිටු පවුලත් පිරිහිලා තිබුණේ. ඒ නිසා ඈ දිළිඳුයි. ඈ දැක්කේ අඟුරු නොවෙයි, රත්තරන්!

“හා…නේ….! ඔයාලා හරි පුදුම අය… අනිත් අය මේ සුළු සුළු දේවල් විකුණද්දී, ඇයි ඔයාලා විතරක් රත්තරන් විකුණන්නේ….?”

“පින්වත් දුවේ… ඔයාගේ නම මොකක්ද?”

“මට කියන්නේ කිසා ගෝතමී කියලා… ඇත්තට ඔයාලා මොකද මේ රත්තරන් විකුණන්නේ…?”

“දුව… එහෙම නම් ඔයාගේ අතින් ඒ රත්තරන් අරගෙන අපිට දෙනවද?”

කිසා ගෝතමිය දෝතින් අඟුරු ගනිද්දී ඒ සියල්ල රත්තරන් වුණා. සිටුතුමාට හරි සතුටුයි. සිටුතුමා මේ කුමරිය ගැන සොයා බැලුවා. ඇය අවිවාහකයි. සිටුතුමා ඉතා සතුටින් තමන්ගේ සිටුපුත්‍රයාට ඈ සරණ පාවා දුන්නා. සියලු රන්රුවන්වල අධිපතිභාවය ඇයට හිමි වුණා.

ටික කලකින් කිසාගෝතමියට ලස්සන පුත්රුවනක් ලැබුණා. ඇය තම පණටත් වඩා මේ දරු සිඟිත්තාට ආදරය කළා. හදිසියේ වැළඳුණු අසනීපයකින් දරුවා මිය ගියා. ඇය මෙය සිහිනයකින් වත් සිතූ දෙයක් නොවෙයි. දරුවා මිය ගිය බව පිළිගන්න ඇය කිසිසේත්ම කැමති වුණේ නෑ.

“අනේ…. පුතේ…. නැගිටින්නකෝ…. අනේ…. මගේ රත්තරන් පුතේ…. විහිළු නොකර ඉන්න…. ඇයි ඔයා අම්මට මෙතරම් රිදවන්නේ…. දැන් කිරිනොබී දවස් දෙකක් වුණා…. අනේ පුතේ…. කලින් වගේ හිනැහෙන්නකෝ….”

දරු සෙනෙහේ වැඩිකමෙන්මයි ඇගේ සිහිය විකල් වුණේ. දරුවා මියගිය බව පැහැදිලි කරදෙන්න කොතෙකුත් මහන්සි ගත්තා. නමුත් ඈ පිළිගන්නේම නෑ. අන්තිමේදී දරුවා ඇකයේ රඳවා ගත් ඈ නිවසින් පිටත් වුණා.

‘මේ කාටවත්ම තේරෙන්නෙ නෑ…. අපේ බබා අසනීපයෙන් ඉන්නේ… අසනීප වූ විට නිශ්ශබ්දව ඉන්නවා නෙව. සීතල වෙලා තියෙන්නේ කිරි බීපු නැති නිසා වෙන්න ඇති. කතා නොකරන්නේ නම් මා එක්ක තරහ වෙලාමයි…. මගෙ පුතේ… මං ඔයත් එක්ක තරහා නෑ… මං ඔයාව සනීප කරනවාමයි. ආයෙත් කිරි පොවනවාමයි. ආයෙමත් ඔයා එක්ක සුරතල් කතා කියනවාමයි. එතකොට ආයෙමත් ඔයා කිරිදත් පෙන්නලා ලස්සනට මාත් එක්ක සිනහ වේවි! ඔව් පුතේ…. අපි බෙහෙත් කරමු….’

මිනිස්සුන්ට හරි දුකයි. ඇයට තේරුම් කරදෙන්න හරි අමාරුයි. අන්තිමේදී ඇය කෙරෙහි අනුකම්පාවෙන් එක්තරා උපාසක කෙනෙක් මෙහෙම කිව්වා.

“කිසාගෝතමී… ඔබේ දරුවාව සුවපත් කරන බෙහෙත් අපි නම් දන්නෙ නෑ. හැබැයි කෙනෙක් ඉන්නවා. සෑම අසනීපයකටම බෙහෙත් ඒ කෙනා ළඟ නම් තියෙනවා. ඔයා එතනට ගියොත් නම් මේ දරුවා සුවපත් වෙනවාමයි.”

“අනේ… මොනතරම් දෙයක්ද! කොහෙද එයා ඉන්නේ…? කියන ඕන දිහාවකට මං යන්නම්.”

ඉතින් කිසාගෝතමී මැරී ඉදිමී සිටින දරු සිඟිත්තාගේ සිරුරත් ගෙන බුදුරජාණන් වහන්සේ සොයා ගියා. උන්වහන්සේට වන්දනා කොට දරුවා සුවපත් කරගැනීමට බෙහෙතක් ඉල්ලා සිටියා.

“හොඳයි කිසාගෝතමී… ඒ වෙනුවෙන් වුවමනා බෙහෙත සොයාගෙන එන්න වෙන්නේ ඔබටයි. එය ඔබට පුළුවන්ද?”

“අනේ ස්වාමීනී…. මං ඕනෑම තැනකට යන්නම්. කියන ඕනම බෙහෙතක් ගෙනත් දෙන්නම්. මට වුවමනා බබාව සනීප කරගන්නයි.”

“එහෙම නම් ගෝතමී…. ඔබට පුළුවන්ද අබ මිටක් ගෙන එන්න?”

“අනේ ස්වාමීනී, සුළු දෙයක්නේ… මං මොහොතකින් ගෙන එන්නම්.”

එහෙම නෙවෙයි. ඔබ අබ මිට ගෙන ආ යුත්තේ කවුරුත් නොමළ ගෙයකිනුයි. ඒ කියන්නේ ඒ ගෙදර දරුවෙක් වේවා, ඤාතියෙක් වේවා කවුරුන් හෝ මිය ගිහින් සිටියොත් ඒ අබ වලින් පලක් නැහැ.”

“හොඳයි ස්වාමීනී, මං දැන්ම පිටත් වෙන්නම්.”

ඉතින් කිසා ගෝතමිය දරුවත් වඩාගෙන පිටත් වුණා. ගෙයක් ගානෙ ගියා. කිසිවෙකුත් නොමළ ගෙයක් ඇයට මුණගැසුණේ නෑ. හැම නිවසකම කවුරුන් හෝ මැරිලා. ටිකෙන් ටික ඈට මරණය වැටහුණා. සවස් වෙද්දී ඇය ජීවිතයේ නොවැටහුණු පැත්තක් වටහාගන්නට සමත් වුණා.

 

“ඇත්ත! බලාගෙන ගියාම මේ ජීවිතය පවතින්නේ සුළු කාලයයි. සමහර ගෙවල්වල පොඩි දරුවන් මැරිලා… ඇතැම් පවුල්වල බිරිඳ මැරිලා… ඇතැම් තැන්වල ස්වාමිවරු මැරිලා…. තරුණ වයසේ දරුවන් මැරිලා… මැදිවියේ වැඩිහිටියන් මැරිලා… මරණයට කිසිම සීමාවක් නෑ. නිශ්චිත වයසක් නෑ. ස්ථිර තැනක් නෑ. නියම කරගත් වෙලාවක් නෑ. මව්කුසේ සිට මහල්ලා දක්වා හැම කෙනෙක්ම මරණයේ පෝරකය අසලයි ඉන්නේ.”

ඇයට වැටහුණා. ඈ දරුවාත් රැගෙන කෙලින්ම සොහොනට ගියා. දරුවාගේ මළකුණ සොහොනේ දැම්මා. හිස් අතින් දෙව්රමට ගියා. බුදුරජාණන් වහන්සේ බැහැදැක වන්දනා කළා.

“පින්වත් කිසාගෝතමී, අබ මිටක් ලැබුණාද?”

“අනේ ස්වාමීනී, මට තේරුම් ගන්න බැරිව සිටිය දෙයක් අද වැටහුණා. දරුවාට තිබුණු අධික ආදරය නිසාමයි මේ හිත අවුල් වුණේ. සත්‍යය පිළිගන්න මේ සිතේ ඉඩක් තිබුණේ නෑ. මට පෙණුනේම දරුවාට පණ තියෙනවා කියලයි. භාග්‍යවතුන් වහන්සේ මට එය මා තුළින්ම තේරුම් ගන්න සැළැස්සුවා. අනේ ස්වාමීනී, මේ ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වෙන්නයි මට දැන් ඕන.”

බුදුරජාණන් වහන්සේ ඈට දහම් දෙසුවා. ඇය සෝවාන් ඵලයට පත්වුණා. ඇය මේ ගෞතම ශාසනයේ භික්ෂුණී සංඝයා අතරට යන්න තරම් වාසනාවන්ත වුණා. ඇය පැවිදි වුණා. භික්ෂුණියක් බවට පත්වුණා.

දිනක් කිසාගෝතමී භික්ෂුණිය පොහොය ගෙට ගොස් පහනක් දැල්වෙන අයුරු බලාසිටියා. ඒ පහන් සිළ මොහොතක් නිශ්චලව රැඳී නැහැ. හැම මොහොතෙම සෙළවෙනවා. ඇය ඒ දෙස බලාගෙන ඒ තුළින් ජීවිතය දකින්නට උත්සාහ කළා.

“මේ ජීවිතයත් පහන් සිළක් වගෙයි. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස සෙළවි සෙළවී තියෙන්නේ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. පහන නිවී යනවා වගේ මිය යනවා.”

බුදුරජාණන් වහන්සේ කිසාගෝතමී භික්ෂුණිය වෙත ආලෝක ධාරාවක් එව්වා. ඇයට මේ ගාථාව ඇහෙන්න සැළැස්සුවා.

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ අමතං පදං

සියක් අවුරුදු ගෙවා දැමුව ද – අමා නිවනක් නොදුටු දිවියේ
පලක් නැහැමයි එය කෙනෙක් හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – පසක් කොට ඒ අමා නිවනම
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්


පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතින් ඒ කිසා ගෝතමී භික්ෂුණිය ඒ ගාථාව අසා තවදුරටත් නුවණින් මෙනෙහි කළා. ඇයගේ ප්‍රඥාව මුහුකුරා ගියා. සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට අමා මහ නිවන සාක්ෂාත් කළා. අරහත් භික්ෂුණියක් බවට පත්වුණා.

බුදුරජුන්ගේ දහම අවබෝධ කරන තුරු මේ ඉපදෙන මැරෙන සසරේ අපි තව කොතරම් කලක් හඬ හඬා යාවිද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ