මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත් අතරේ දිගු ගමන් මාර්ගයකට පැමිණ වදාළා. එහිදී සුප්පිය නම් වූ පිරිවැජියාත්, ඔහුගේ ශිෂ්‍යයකු වන බ‍්‍රහ්මදත්ත නම් තරුණයාත් සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත් අතරේ දිගු ගමන් මාර්ගයට පැමිණුනා.

එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට වුණා. ශ්‍රී සද්ධර්මයටත් අපහාස කරන්නට වුණා. ආර්ය සංඝ රත්නයටත් අපහාස කරන්නට වුණා. එනමුත් සුප්පිය පිරිවැජියාගේ ශිෂ්‍යයා වන බ‍්‍රහ්මදත්ත තරුණයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට වුණා. ශ්‍රී සද්ධර්මයේ ගුණ වර්ණනා කරන්නට වුණා. ආර්ය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්නට වුණා. ඉතින් ඔය විදිහට ගුරු ශිෂ්‍ය දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වූ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් පිටුපසින් ගමන් කරන්නට වුණා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙහි (රජුන් විසින් කරවන ලද ශාලාවෙහි) එක් රැයක් භික්ෂු සංඝයා සමඟ නවාතැන් ගන්නට වැඩම කළා. එකල්හි සුප්පිය පිරිවැජියාත් තම ශිෂ්‍යයා වූ බ‍්‍රහ්මදත්ත තරුණයා සමඟ ඒ අම්බලට්ඨිකාවේ රාජාගාරකයටම එක් රැයක් නවාතැන් පිණිස පැමිණියා. ඉතින් එතැනදීත් සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට වුණා. ශ්‍රී සද්ධර්මයටත් අපහාස කරන්නට වුණා. ආර්ය සංඝරත්නයටත් අපහාස කරන්නට වුණා. එනමුත් සුප්පිය පිරිවැජියාගේ ශිෂ්‍යයා වන බ‍්‍රහ්මදත්ත තරුණයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට වුණා. ශ්‍රී සද්ධර්මයේ ගුණ වර්ණනා කරන්නට වුණා. ආර්ය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්නට වුණා. ඉතින් ඔය විදිහට ගුරු ශිෂ්‍ය දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වූ වාද ඇතිවයි වාසය කළේ.

ඉතින් රෑ පාන්දරින් අවදි වෙලා රැස්වීම් ශාලාවේ එකතුවෙලා සිටි බොහෝ භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇතිවුණා. “ප‍්‍රිය ආයුෂ්මතුනි, ආශ්චර්යයයි! ප‍්‍රිය ආයුෂ්මතුනි, පුදුම සහගතයි! දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ එකිනෙකා අතර ඇති මේ වෙනස් අදහස් ඇති බව මොනතරම් පැහැදිලි ලෙසද තේරුම් අරගෙන තියෙන්නේ. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේට අගුණයක්ම කියනවා. ශ්‍රී සද්ධර්මයටත් අගුණයක්ම කියනවා. ආර්ය සංඝයාටත් අගුණයක්ම කියනවා. ඒ වුණාට සුප්පිය පිරිවැජියාගේ ගෝලයා වන බ‍්‍රහ්මදත්ත තරුණයා නම් බුදුරජාණන් වහන්සේට ප‍්‍රශංසාවක්මයි කරන්නේ. ශ්‍රී සද්ධර්මයට ප‍්‍රශංසාවක්මයි කරන්නේ. ආර්ය සංඝරත්නයට ප‍්‍රශංසාවක්මයි කරන්නේ. ඔය විදිහට ගුරු ගෝල දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේගේත්, භික්ෂු සංඝයාගේත් පස්සෙන්ම ආවා නෙව” කියලා.

එතකොට ඒ භික්ෂූන්ගේ මේ කතාබහ දැන වදාළ භාග්‍යවතුන් වහන්සේ රැස්වීම් ශාලාවට වැඩම කොට වදාළා. වැඩම කරලා පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි, දැන් කවර කතාවකින් යුතුවද ඔබ එක්රැස්වෙලා සිටියේ? ඔබ අතරේ කවර කථාවක්ද අඩාල වුණේ?”

මෙසේ වදාළ විට ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, මෙහි රෑ පාන්දරින් අවදිවී රැස්වීම් ශාලාවේ එකතුවෙලා සිටි අප අතර මේ කතාබහ ඇතිවුණා. ‘ප‍්‍රිය ආයුෂ්මතුනි, ආශ්චර්යයයි! ප‍්‍රිය ආයුෂ්මතුනි, පුදුම සහගතයි! දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ එකිනෙකා අතර ඇති මේ වෙනස් අදහස් ඇති බව මොනතරම් පැහැදිලි ලෙසද තේරුම් අරගෙන තියෙන්නේ. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේට අගුණයක්ම කියනවා. ශ්‍රී සද්ධර්මයටත් අගුණයක්ම කියනවා. ආර්ය සංඝයාටත් අගුණයක්ම කියනවා. ඒ වුණාට සුප්පිය පිරිවැජියාගේ ගෝලයා වන බ‍්‍රහ්මදත්ත තරුණයා නම් බුදුරජාණන් වහන්සේට ප‍්‍රශංසාවක්මයි කරන්නේ. ශ්‍රී සද්ධර්මයට ප‍්‍රශංසාවක්මයි කරන්නේ. ආර්ය සංඝරත්නයට ප‍්‍රශංසාවක්මයි කරන්නේ. ඔය විදිහට ගුරු ගෝල දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේගේත් භික්ෂු සංඝයාගේත් පස්සෙන්ම ආවා නෙව’ කියලා. ස්වාමීනී, අපගේ මේ කථාවයි අඩාල වුණේ. එතකොටමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට වදාළේ.”

“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද?” “ස්වාමීනී, එය නොවේමයි.”

“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් අසත්‍යයක්මයි. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්. ඔය දෝෂය අප අතර දකින්න නෑ’ කියලා අසත්‍යය අසත්‍යය වශයෙන්ම තේරුම් ගෙන ලිහා ඉවත් කිරීමයි.

“පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ විසින් අමුතුවෙන් සතුටු විය යුතු නෑ. සොම්නස් විය යුතු නෑ. සිතෙහි උද්දාමයකට පත්විය යුතු නෑ. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ විසින් අමුතු සතුටක් ඇති කරගන්න ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්න ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවිට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් සත්‍යයක්මයි. ඔය කියන ගුණය අප තුළ තියෙනවා. ඔය ගුණය අප අතර දකින්නට ලැබෙනවා’ කියලා සත්‍යය සත්‍යය වශයෙන්ම තේරුම් ගැනීමයි.

උපුටා ගැනීමදීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන්
සරල සිංහල පරිවර්තනයපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ