අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

February 14th, 2015|Comments Off on 2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයකට නැගී සිටි වීරිය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වීරිය ගන්න ඕන ආකාරය තුන් අයුරකින් පෙන්වා වදාළා. කෙනෙකුට තියෙනවා නම් නිරතුරුවම උත්සාහයක්, අන්න ඒ උත්සාහයට කියනවා ‘ආරද්ධ වීරිය’ කියලා. ඒ කෙනා ඒ උත්සාහය පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ වීරිය ඉතාම ප්‍රබෝධමත් සිතින් පවත්වනවා නම් ඒකට කියන්නෙ ‘නැගී සිටි වීරිය’ කියලා. නැගී සිටි වීරිය තියෙන කෙනා නැණවතෙක්. එයා නුවණ යොදවනවා. නුවණින් සලකනවා. එයාට හොඳ නරක තෝරා බේරා ගෙන නරක බැහැර කරන්න පුළුවන්. හොඳ රැකගන්න පුළුවන්. එනිසා නැගී සිටි වීරිය දියුණු වෙන ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනයි.

2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව

February 13th, 2015|Comments Off on 2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලක්ෂණ ඔබත් ඇති කරගන්න. ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක වීමට මෙම ගාථාවේ සඳහන් උතුම් කරුණ සම්පූර්ණයෙන්ම බලපානවා. පත පත හිටියා කියලා කිසි කෙනෙක් දියුණු වෙන්නෙ නෑ. දියුණු වෙන්නේ එයට වුවමනා කරන හේතු කාරක ධර්ම ඇති කරගත් දවසටයි.

2-1,2,3. සාමාවතිය හා මාගන්දියාගේ කථා වස්තුව

February 9th, 2015|4 Comments

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙම ගාථාවන් තුළින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ අප්‍රමාදයේ වටිනාකම ගැනත්, ප්‍රමාදයෙහි භයානකකමත්ය. අප්‍රමාදය කියන්නෙ තමන්ගේ ජීවිතය මුළුමනින්ම ධර්මයට කැප කිරීමටයි. ඒ කියන්නේ තමන් ඉතා සිහියෙන් යුතුව ඉන්නවා. නුවණින් විමසනවා. කයින් සිදුවෙන අකුසල් දුරුකරනවා. වචනයෙනුත් අකුසල් කරන්නෙ නෑ. සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. සිතෙන් අකුසල් සිදුවෙන්නට ඉඩ තියන්නෙ නෑ. වියලුන තණ කොළ ගොඩකට ගිනි පුපුරක් වැටුණොත් ඉක්මනින් ඇවිලෙනවා. අසංවර හිතත් ඒ වගේ. අකුසල් හටගත්තු ගමන් ඒ අකුසල්වලට යට වෙනවා. නමුත් තණ කොළ ගොඩට ගිනි පුපුර වැටුණ ගමන් අතින් පයින් ගසා වහා කලබලයෙන් නිවා දමනවා වගේ අප්‍රමාදී කෙනා තමා තුළ අකුසල් හටගත් සැණින්, දුරුකරනවා. අකුසල්වලට බිය වෙනවා. ඒ කෙනා තමයි ජීවිතය ජයගන්නෙ. ඒ කෙනා තමයි යළි යළි ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වන්නෙ. ඒ කෙනා තමයි නිවන් අවබෝධ කරන්නෙ.

1-19,20. යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථා වස්තුව

November 4th, 2014|7 Comments

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. ධර්මයෙන් ප‍්‍රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරමයි. ලෝකයට කොයිතරම් බණ කිය කියා හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලාගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සලස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනන් පස්ගෝරසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි එ්වා ලැබෙන්නේ. ධර්මයේ නොහැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේමයි.