● මේ දෙසුමේ පසුබිම :

ක්තරා බ්‍රාහ්මණ ගොවියෙක් සැවැත් නුවර අචිරවතී ගං තෙර යව කෙතක් වපුරන්නට විය. ඒ අසළ මාවතේ පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේ මොහු වපුරන මේ යවසහල් කෙත මහා වැස්සෙන් විනාශ වීම නිසා බලවත් දුකකට පත්වෙන බව දුටු සේක. මොහු ජීවිතය ගැන සිතන්නට දක්ෂ වන්නේ එදාටය. භාග්‍යවතුන් වහන්සේ ඒ දිනය එනතෙක් ඔහු හා මිත්‍ර වී දිනපතා ඔහුගේ කෙතේ කටයුතු විමසන්ට වූහ. කෙත වැඩී රන්වන්ව පැසී ගියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකොට “පින්වත, දැන් ඔබේ කෙත හරි අපූරු නේදැ” යි ඇසූ සේක. “එසේය භවත් ගෞතමයාණෙනි, මෙවර කෙත නම් හරිම අපූරුයි” කියා සොම්නසින් ඉපිළෙන්ට විය.

පසුවදා කෙත කපා අස්වනු නෙළන්නටත්, එහි මුල් කොටස භාග්‍යවතුන් වහන්සේට පුදන්නටත් සිතාගත් හේ සතුටින් නින්දට ගියේය. එදා රාත්‍රී ධාරානිපාත මහා වර්ෂාවක් ඇද හැලුනි. මහා ජලකඳට යට වූ ඒ යව කෙත මුළුමණින්ම විනාශ වී ගියේය. හිමිදිරියේ කෙතට ගිය හේ පාළු කෙත දැක හඬා වැළපෙන්නට විය. මහාකාරුණිකයාණෝ එහි වැඩම කොට ඔහු අස්වසා මේ දෙසුම වදාළ සේක. දෙසුම අවසානයේ ඒ බමුණු ගොවියාත්, බැමිණියත් සෝවාන් ඵලයට පත් වූහ.

770. කාමං කාමයමානස්ස – තස්ස චේතං සමිජ්ඣති
අද්ධා පීතිමනෝ හෝති – ලද්ධා මච්චෝ යදිච්ඡති

කම් සැප විඳින්නට රුචි වුණ කෙනා හට
ලද විට ඒ කාම සම්පත් තමා හට
ලැබුණා පතා සිටි දේවල් මෙමා හට
කියමින් පිණා යයි සතුටින් සැබෑවට

771. තස්ස චේ කාමයානස්ස – ඡන්දජාතස්ස ජන්තුනෝ
තේ කාමා පරිහායන්ති – සල්ලවිද්ධෝව රුප්පති

ලද ලද කම් සැපයටම නිති කැමති වන
කෙනෙකුට ඒ තුළම සිත සැනසුම සදන
කාලය පැමිණි විට ඒ සම්පත් නැසෙන
වැළපෙයි එයා විලසට ළය හුල ඇණුන

772. යෝ කාමේ පරිවජ්ජේති – සප්පස්සේව පදා සිරෝ
සෝ’ මං විසත්තිකං ලෝකේ – සතෝ සමතිවත්තති

මෙය දැක හැම කාමයන් දුරු කරන කෙනා
බැහැරට දමයි සර්පයෙකුගෙ හිස ලෙසිනා
මෙලෙසින් සිහි නුවණ පවතින ඒ සමණා
පැන යයි සියළු තණ්හාවෙන් ලොව බැඳෙනා

773. ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා – ගවාස්සං දාසපෝරිසං
ථියෝ බන්ධූ පුථුකාමේ – යෝ නරෝ අනුගිජ්ඣති

කෙත් වත් රන් රුවන් මෙහෙකරුවන් ආදී
ගවයන් අසුන් හා නෑයන් ඇති විහිදී
බොහො කාමයන් සිතමින් එයටම පැහැදී
ගිජු වෙන කෙනා සිත වෙන’තක නොම යාදී

774. අබලා නං බලීයන්ති – මද්දන්තේ නං පරිස්සයා
තතෝ නං දුක්ඛමන්වේති – නාවං භින්නමිවෝදකං

දුර්වල කෙලෙස් ඔහුව යටකර ගෙන යන්නේ
කරදර කම්කටොළු ඔහු මඩිමින් ඉන්නේ
කාමය තුළින් ඔහු දුක වෙතමයි යන්නේ
හිල් වුන නැවට ගලනා දිය කඳ වැන්නේ

775. තස්මා ජන්තු සදා සතෝ – කාමානි පරිවජ්ජයේ
තේ පහාය තරේ ඕඝං – නාවං සිත්වාව පාරගූති

එනිසා හැමවිටම සිහියෙන් කල් ගෙවමින්
දැනගෙන කාමයන් බැහැරට හැර දමමින්
දිය ඉස නැව සදාගෙන එතෙරටම යමින්
තරණය කළ යුතුය සැඩ දිය බිඳ හරිමින්

කාම සුත්තං නිට්ඨිතං

කාමයන් ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

(සුත්ත නිපාතය – අට්ඨක වර්ගය)

කාම සූත්‍රය – සජ්ඣායනාව

කාම සූත්‍රය – ධර්ම දේශනය