අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

14-10,11,12,13,14. අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

January 11th, 2020|3 Comments

මේ නා රජු හිතාගෙන ඉන්නේ තමන්ට පමණයි දුම් පිට කරන්න පුළුවන් කියලා. අන් අයට බැරිය කියලයි හිතාගෙන ඉන්නේ’ කියලා මහා මොග්ගල්ලානයන් වහන්සේත් තම සිරුරෙන් දුම් පිට කලා. ඒ මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා.

14-08,09. අසිරිමත් සම්බුදු කරුණාව

January 8th, 2020|Comments Off on 14-08,09. අසිරිමත් සම්බුදු කරුණාව

ඇතැම් අවස්ථාවන්හීදී කාටවුණත් තමන්ට යහපත පිණිස පවතින දේ හරියාකාර ලෙස වටහාගන්නට බැරිවෙනවා. එතකොට අයහපතට හේතුවන දේ තමයි හරි කියලා හිතෙන්නේ. යහපතට හේතුවෙන දේ ගැන ආශාවක්....

14-05,06,07. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම පිළිබඳ කථා වස්තුව

January 6th, 2020|1 Comment

කාශ්‍යප දසබලයන් වහන්සේගේ කාලයේදී හය මාසයකට වතාවක් උපෝසථය කෙරුණා. එක් දවසකදී වදාරණ ලද අවවාදය හය මාසයකට සෑහෙනවා. මේ නිසා උන්වහන්සේලාගේ උපෝසථ පිළිබඳ කාලයේ නම් වෙනස්කම් තිබුණා. නමුත් ...

14-04. ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

January 6th, 2020|1 Comment

නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ....